ගෑනි හැඩ කරන්න සේසතම වැය කළ මිනිහා අතරමං


 බිරිය තිරිහන් කර ලස්සන කරන්නට මුළු සේසතම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමීවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.


ආරක්ෂක අංශයක සේවය කරන තරුණයෙක්  වසර විස්සකට  පමණ පෙර තරුණ වියේ වූ ඇය හා පෙමින් වෙලී පවුල් දිවිය ආරම්භ කළේ දෙපක්ෂයේ ඥාතීන් ඇතුළු පිරිසකගේ විරෝධය මැදය. දරු පවුල එකා දෙන්නා ලෙස වැඩිවී සිව් දෙනෙක් දක්වා ඉහළ ගියේය.


සැමියාගේ මව අසනීප වූවාය. ඇයගේ දුක් සැප බලන්න සැමියා සේවය කරන ආරක්ෂක ඒකකයේ ඉහළ නිලධාරියෙක් නිවසට ආවේය. මවගේ දුක් සැප බැලූ ඔහුට බිරියගෙන් නිසි සැලකිලි ලැබුනි. ඇය සැමියාගේ ප්‍රධානියාට ඇහෙන්ද කතා කළේය.


ආපසු යන්නට සැරසුණු ප්‍රධානියා අර ඉන්නේ ඔබේ අක්කාද  කියා බිරිය පෙන්වා විමසීය. ඒ වදන් සමග ඔහු වික්ෂිප්තවූයේය. කිසිත් නොදෙඩු ඔහු ප්‍රධානියාට සමු දුන්නේය. සවසම බිරිය සමග ගියේ රූපලාවන්‍යාගාරයකටය. බිරිය තිරිහන් කර ලස්සන කරන්නට ඇවැසි ප්‍රතිකාර කරන්නට අවශ්‍ය කරන සියලු මුදල් අත දිග හැර වියදම් කළේය.


ඔහු රැකියාවට ගියේ බිරියට නිසි පරිදි අවශ්‍ය සේවාවන් ලබා ගන්නට උපදෙස් දීමෙන් පසුවය. මසකින් ආ සැමියාට බිරියගේ තරුණ පෙනුමක් දකින්නට ලැබිණි. ඔහු සතුටු වූයේය. තව තවත් එම ප්‍රතිකාර කරන්නට අවශ්‍ය මුදල් හදල් දුන්නේය.


මාස කිහිපයක් ගතවිය. බිරිය දැන් රූමතියකි. ඇය ගැන විවිධ කතා සැමියාගේ කණටද ගියත් ඔහු ඒවා බැහැර කළේ අලුයම ලූ කෙළ පිඩක් සේය. මේ අතර මව මියගියාය. මවගේ මරණයේ කටයුතු ඉහළින් කරනු ලැබුවේ සැමියා තම ප්‍රධානියාගෙන් ලත් සහායද ඇතිවය.


හත් දොහේ දානයෙන් පසු බිරිය අතුරුදන්වූවාය. සොයා ගන්නට නැත. නිවසේ තිබූ සියලු වටිනා දේද රැගෙන ඇය පිටව ගොස් ඇති බව හෙළිවූයේය. සැමියා දරුවන් සමග නිවසේය. ඔහුට රැකියාවට යන්නට අවස්ථාවද නැත. ගෑනි ලස්සන කරන්න ගිහින් මට වෙච්ච දෙයක් ඔහු කා සමගත් කියන්නට වුයේය.


මේ අතර ආංචියක් ලැබිණි. බිරියත් තමන්ගේ ප්‍රධාතියාත් පවුල් කමින් දිවිය ගත කරන බව එයින් කියවිණි. සොයා බලද්දී ඒ බව සනාථවිය. තවදුරටත් කළ සොයා බැලීමේදී හෙලිවී ඇත්තේ බිරිය කළක් තිස්සේම සැමියාගේ ප්‍රධානියා සමග දුරකතන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බවක් නොදැනෙන්නට නිවසට ආ අවස්ථාවේ ඇය අක්කාදැයි බොරුවට ප්‍රශ්න කර ඇති බවත්ය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)