ගාණ අඩු කරන්න ගිහින් අතින් කයිට් වෙලා


හාලිඇළ - ලලිත් දිසානායක


අලෙවි කිරීමට තිබූ බෝංචි කරලක් කාපු නිසා තරුණයන් දෙදෙනකුට රුපියල් විස්සක් වෙළෙන්දාට දීමට සිදු වූ පුවතක් හාලිඇළ නගරයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ගස් කැපීම රැකියාව කරගත් තරුණයන් දෙදෙනෙක් හවස් යාමේ හාලිඇළ නගරයට පැමිණියහ. දෙදෙනා ඇඟපත අමාරුවට මත් වතුර ටිකක් ද සප්පායම් කළහ. පසුව ඔවුහු නගර මධ්‍යයෙන් ගමන් කිරීමේදී බෝංචි විකුණන වෙළෙන්දකු දුටුවෝය. බෝංචි මිල විමසූ මිතුරන් දෙදෙනාට වෙළෙන්දාගෙන් දැනගත හැකි වූයේ බෝංචි ග්‍රෑම් 250ක් රුපියල් දෙසීයක් බවය. බෝංචි ගොඩ අතගාමින් සිටි එක් තරුණයෙක් ලොකු බෝංචි කරලක් කඩාගෙන කෑවේය. බෝංචි මිල අඩු කර ලබා දෙන ලෙස තරුණයන් දෙදෙනා වෙළෙන්දාගෙන් ඉල්ලීමක් කළත් වෙළෙන්දා එයට අකැමැති විය. පසුව මිල වැඩි බව පවසා තරුණයන් දෙදෙනා එම ස්ථානයෙන් යාමට සූදානම් වන අවස්ථාවේදී වෙළෙන්දා සපාකෑ බෝංචි කරලට රුපියල් 20ක් ඉල්ලා සිටියේය.
මෙයින් අන්දමන්ද වූ බෝංචි කරල කෑ තරුණයා වෙළෙන්දා සමඟ විවාදයට පැටලු‍ණේය. කෙසේ වෙතත්, අවසානයේ අනෙක් තරුණයා රුපියල් 20ක් වෙළෙන්දාට දී ගැටලු‍ව නිමා කොට දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගියහ.