යහමින් දේපළ, නිවාස හා ආදායම් මාර්ග තිබියදී ගෙදරට හොරා කම්මැලිකමට සිඟාකෑමේ යෙදුණු හැට හැවිරිදි වියේ පමණ වූ පුද්ගලයකු පිළිබඳව පසුගියදා කොළඹ මහනුවර මහා මාර්ගයේ ගම්පහ දිසාවේ ප්‍රධාන මංසන්ධියකදී දැකගන්නට ලැබිණි.
ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් සිඟාකෑමේ යෙදෙන පිරිස් පිළිබඳ සමීක්ෂණයක යෙදුණහ. උන්වහන්සේ ඡායාරූප ශිල්පියකුද සමග ඇතුගල පෙදෙසේ සංචාරය කරමින් අවශ්‍ය තොරතුරු ලබා ගත්හ. අනතුරුව කොළඹ දෙසට ගමන් කරමින් මගදී හමුවූ නගරවල සිටි යාචකයන් හමුවී තොරතුරු ලබා ගත්හ.
මෙසේ පැමිණිවිට ගම්පහ දිසාවේ ප්‍රධාන නගරයක විදුලි සංඥා ඇති හන්දියක රැඳී සිටි පුද්ගලයකු දැක ගැනීමට හැකිවිය. ඔහු සුදු ඇඳුමින් සැරසී පිඟානක් අත තබාගෙන පාර මැද වේදිකාවේ සිටිමින් විදුලි සංඥාවලට නතර කරන වාහනවල සිටින අයට අතපානු දැක ගන්නට හැකිවිය. මෙම යාචකයා උදේ සිට හමුවූ පුද්ගලයන්ට වඩා වෙනස් ආකාරයේ අයකු වූ හෙයින් පෙරකී භික්ෂූන් වහන්සේ පාර මැදට ගොස් යාචකයා හමුවී විස්තර ඇසූහ.
අනේ හාමුදුරුවනේ, අවසරයි. මං ගැන නම් මොකවත් අහන්න කියන්න එපා. මට හොඳට ගේදොර තියෙනවා. ඉඩ කඩම් තියෙනවා. ආදායම් තියෙනවා. මං ගැන බලන්න දරුමල්ලන් ඉන්නවා. මම මේ කාටත් හොරා මෙහෙම ඇවිත් ඉන්නේ ගෙදර කම්මැලිකමේ ඉන්න බැරි හින්දයි අපේ හාමුදුරුවනේ ඔහු කීවේ වැඳ වැටෙමිනි.
ඔහුගේ ආයාචනය ඇසූ භික්ෂූන් වහන්සේ සිනාසෙමින් ආපසු හැරුණේ ඡායාරූප ශිල්පියාට අපි ආපසු යමුයි කියමිනි.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි