ගමට පැමිණි නාඳුනන පෙම්වතා පොලිස් ඇපමත මුදා හැරලා


(දෙනියාය විශේෂ එස්.ඩී. කොඩිකාර)
මග හැරුණ දුරකතන ඇමතුමකින් හඳුනාගෙන මාස දෙකක් පමණ  කොටපොළ  ප්‍රදේශයේ තරුණියකු සමග  පෙම් සබඳතාවක් පැවැත්වූ  උනවටුන  ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන  සූපවේදියකු එම තරුණිය හමුවී නැවත යමින් සිටියදී  අනන්‍යතාව තහවුරු කර ගැනීමට තමන් සතුව කිසිදු ලියකියවිල්ලක් නොමැතිවීම හේතුවෙන් ගම්වාසීන් ඔහු පැමිණි යතුරු පැදිය ද සමග අල්ලා කොස්මෝදර පොලීසියට භාරදීමෙන් අනතුරුව පොලිස් ඇප මත පෙරේදා (15)  නිදහස් කළ බව පොලිසිය කියයි .


මෙලෙස පොලිස් ඇපමත නිදහස් කරනු ලැබුවේ විසිදෙහැවිරිදි  ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලීසිය කියයි.


සැකකාර තරුණයා මාස දෙකකට පමණ ඉහතදී දාහත් හැවිරිදි තරුණිය සමග මගහැරුණ දුරකතන ඇමතුමක් ඔස්සේ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියත් ඔවුන් දෙදෙනාම රූපයෙන් දැන හඳුනාගෙන නොමැති නිසා අදාළ තරුණිය විසින් පෙරේදා (15) දිනයෙහි තමන්ගේ නිවසෙහි  මව්පියන් නොමැති බව පවසා අදාළ තරුණයා ට ඇය හමුවීමට නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්  පසුව තරුණයා ඇය හමුවීමට යතුරුපැදියකින් පැමිණ එය වෙනත් තැනක නවත්වා  පා ගමනින් ගොස් අදාළ තරුණිය සමඟ මිනිත්තු පහක පමණ කාලයක් කතාබස් කර නැවත යමින් සිටියදී නාඳුනන තරුණයෙකු තම ගම් ප්‍රදේශයේ ගමන් කරන දුටු ගම්වාසීන් ඔහු අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කළ බව පොලිසිය කියයි.


පසුව කොස්මෝදර පොලීසිය මගින් සැකකාර තරුණයා සම්බන්ධයෙන් ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිසියෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව  කිසිදු අපරාධයකට සම්බන්ධ නොවීම හේතුවෙන් ඔහු පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කළ බව කොස්මෝදර පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.


සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.