(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹට නුදුරු ගම්මානයක වෙසෙන දරු පවුලකි. බිරිය තලාව ප්‍රදේශයේය. විවිධ බාධක කරදර නිසා මේ පවුලේ අයට දෙවසරකින් ගම් බිම් බලා යන්නට අවස්ථාව ලැබුණේ නැත.

මේ ගැන සැලකිලිමත් වූ සැමියා අවුරුදු උදාවට පෙරම බිරියගේ ගමට යන්නට සූදානම් වූයේ බිරිය පුදුමයට පත් කරවමිනි. දරුවන් දෙන්නාටද මේ ගමන ගැන දැනගන්නට ලැබීමෙන් මහත් සතුටක් ඇති විය.
ගමනට යොදාගත්තේ දුම්රියයි. අවුරුදු දාට පෙර දිනයේ පස්වරුවේ දෙවැනි පන්තියේ මැදිරියකට ගොඩවූ මේ පිරිස ගමනේ නිරත වූයේ මහත් සතුටිනි. වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල පසු කළ දුම්රිය මහව හන්දිය ද පසු කළේය. දුම්රිය තඹුත්තේගම දුම්රියපොළේ නවතා ගමනට සූදානම් වෙද්දී බිරිය කළබල වූවාය.
“අපි බහිමු. අපි බහිමු ඉක්මන් කරන්න” ඇය කෑගැසුවාය. සැමියා ද දරුවන් දෙදෙනා සමග දුම්රියෙන් බැස්සේ කිසිවක් සොයා නොබලමිනි. බිරිය බඩු මලු එල්ලාගෙන දුම්රිය පිටත්වීමට පෙර බිමට බැස්සේ මහත් ජයග්‍රාහී අන්දමිනි.
දුම්රිය හූ කියාගෙන අනුරාධපුරය බලා පිටත් විය. ලොකු පුතා එක්වරම අම්මේ කීවේ කිසිවක් දුටු නිසාය.
“මොකද ළමයෝ කරදර කරන්නේ ආච්චි අම්මලා දැන් මග බලාගෙන ඇති අපි ඉක්මනට යමුයි” මව පුතාට කීවාය.
“නෑ අම්මේ අපි බැහැලා තියෙන්නේ තලාවෙන් නෙවෙයිනේ. මේ තඹුත්තේගමනේ” කී පුතා දුම්රිය පොළේ නාම පුවරුව පෙන්වීය. මවටත් පියාටත් සිහි එළැඹුනේ එවිටය.
“මම උපන් ගම මට වරදිනවාද” අම්මා පුතාට ගෝරනාඩු කරද්දී සැමියා සිනාසෙන්නට වූයේ බිරියගේ හදිසියට වැරදීමක් සිදුව ඇති බව තේරුම් ගත් නිසාය.
සැමියා දෙස ඔරවා බැලූ බිරිය දුම්රියපොළේ නාමපුවරුව බලා බිම බලා ගත්තේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාය.
නොනගතය නිසා ත්‍රිරෝද රියක්වත් සොයා ගන්නට බැරිය. තලාව දක්වා පයින් යාම ද කළ නොහැකිය. ඒ නිසා මේ දරු පවුල එදින රාත්‍රිය දුම්රියපොළේ බැංකුවක ගත කර පසුදා අලුයම ගමට ගියේ තවත් වියදමක් දරමිනි.

