ගඟට පාර්සලයක් දාලා කතක් හොල්මන් වෙලා


(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දෙනෝ දහසක් ගමන් ගන්නා කටුගස්තොට මාර්ගයේදී බිලිඳු හිසක් මහවැලි ගඟට දමාගියේ යැයි පුද්ගලයකු පිළිබඳව කාන්තාවක පැවසූ පුවතකින් ප්‍රදේශය උණුසුම් විය.


වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේයි,


හොඳින් ඇඳ පැලඳගත් ඔහු කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට පා ගමනින් යමින් සිටියදී හදිස්සියේ කටුගස්තොට ලොකු පාලම මතදී වටපිට බලා තම අතෙහි වූ මල්ලෙන් කළු පැහැති කිසියම් ගුලියක් වැනි දෙයක් ගඟට විසිකර නැවත සිය සුපුරුදු ගමන යෑමට පටන්ගෙන ඇත.


එහෙත් ඔහුට එසේ යාමට සිදුවූයේ අඩි කිහිපයක් පමණි. ඊට මඳක් ඈතින් පැමිණි කාන්තාවක් “ඔය මිනිහා අල්ලා ගන්න, ඔය මිනිහා අල්ලා ගන්න, අන්න පොඩි ළමයෙකුගේ ඔළුවක් ගඟට දැම්මා යනුවෙන් කෑගැසුවේ ඔහුට තවත් අඩියක් හෝ ඉදිරියට යාමට ඉඩ නොදී ඒ මොහොතේ පාලම මතින් ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරෙකුගේ ග්‍රහණයට හසුවීම නිසාය.


අන්දමන්ද වූ ඔහු සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර අදාළ කාන්තාව එතැනට රැස් වූ පිරිසට පැවසුවේ මේ මිනිහා පුංචි ළමයෙකුගේ ඔළුවක් ගඟට දාලා පැනලා යන්න හැදුවා කියාය. 


කෙසේ නමුත් එතෙක් ත්‍රිරෝද රථ රියැදුරුගේ ග්‍රහණයට හසුව සිටි ඔහු පැවසුවේ සුබ නැකතට තම එකම දියණියගේ කෙස් කැපීමෙන් අනතුරුව එම කෙස් ගලා යන ජලයකට දමනා ලෙස නැකැත් සෑදූ තැනැත්තා පැවසීම නිසා කැපූ එම කෙස් මෙසේ මහවැලි ගඟට දැමූ බවයි.


එසේ ඔහු පැවසීමත් සමඟ පිරිස විසිරී යාමටත් පෙර අදාළ කාන්තාව එතැනින් පිටව ගොස් තිබිණි.