කොරෝනාව පස්සෙන් එතැයි තණකොළ කපන්නා බ්යවෙලා


විදේශගතව සිට පැමිණි පුද්ගලයකුගේ නිවසේ වත්තේ  තණකොළ කැපීමට පැමිණි අයකු  ගෙහිමියා පිටරටක සිට ආ බව දැන ගැනීමෙන් පසු  තණකොළ කපන මැෂිම ද වත්තේ දමා බයිසිකලයේ නැගී පණ එපා කියා  ආපසු ගිය සිද්ධියක් දකුණේ වළල්ලක් සමග විටත් ඇති ගමක යන අරුත් දෙන නමක් ඇති ප්‍රදේශයකින්  වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 විදේශගතව සිටි නිවැසියා පැමිණියේ දින 21 ක් නිරෝධායනය වීමෙන් අනතුරුවය.


කෙසේ වුවද ඔහු වෙනදා නිවසට පැමිණෙන විට නිවස පිරී යන නෑ හිතමිතුරන් කිසිවකු නොපැමිණි අතර වෙනදා රට බීමවලින් සප්පායම් වී එලවා ගත නොහැකිව සිටි මිතුරන් පවා නොපැමිණීම ගැන ඔහු පුදුම විය.


කෙසේ වුවද වත්ත පිටිය වල් බිහිවී තිබූ බැවින් තණකොළ කපා ගැනීමට කෙනෙකු සොයා ගැනීම සඳහා  වෙහෙසුන ද එය ද අසාර්ථක විය.


  පසුව  දුරකථන අංකයක් සොයාගෙන අමාරුවෙන් තණකොළ කැපීම සඳහා පුද්ගලයකු සොයා ගත්තේය. ඔහු බයිසිකලයක  මැෂිමද බැඳගෙන පැමිණ තණකොළ කැපීමට සූදානම් වනවාත් සමගම සතුට වැඩි වූ ගෙහිමියා රටින් රැගෙන ආ ටොපි කීපයක් අතට දී විදේශගතව සිට නිරෝධායනය වී පැමිණි බව පවසා ගෙතුළට ගියේ  බීමට යමක් රැගෙන ඒම පිණිසය. 


එහෙත් ආපසු පැමිණ බලන විට තණකොළ කපන යන්ත්‍රය පමණක් ඉතිරි වී තිබූ අතර පැමිණි පුද්ගලයා දකින්නට නොවීය. පුදුමයට පත්වූ ගෙහිමියා  ඔහු ගැන සොයා බැලීමේදී බයිසිකලය ද නොතිබූ බැවින් කඩයට යන්නට ඇතැයි සිතා නිවස තුළට ගියේ ආපසු පැමිණ කාර්යය පටන් ගනු ඇතැයි සිතමිනි.


 ටික වේලාවක් ගිය පසු පැමිණි ඔහු දියර වර්ගයක් ද මැෂිම පුරා ඉස යන්ත්‍රයද  බයිසිකලේ තබා බැඳගෙන ආපසු ගියේ ගෙහිමියාටද නොකියාමය.


ඔහු පිටත්ව යන අයුරු ගෙහිමියා බලා සිට අනේ අපිටමයි ඔක්කොම වෙන්නෙ. කොරෝනාව කළ හදියක් යනුවෙන් පවසා සුසුමක් හෙලූ අතර තණකොළ කැපීමට ගිය පුද්ගලයා වහාම නිවසට පැමිණ නැවත තණකොළ කපන යන්ත්‍ර පවා නිරෝධායනය කර සිත සැහැල්ලු‍ කර ගත්තද දරුවන් අසලට පවා නොයාමට වග බලාගත්තේය.


ඔහු පසුව  තම  මිතුරන්ට සිද්ධිය විස්තර කළේ බැරිවෙලාවත් කොරෝනා තිබුනොත් ගමම ඉවරයි යනුවෙන් පවසමිනි.


මෙය දැනගත් මිතුරන් පැවසූවේ පරෙස්සම ඉතා හොඳ බවත් වැඩි පරෙස්සම නිසා ලැබෙන්නට තිබූ මුදලද අහිමි කර ගත් බවත්ය.

 (රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)