කොන්දොස්තරට කළ හොඳ පස්සෙන් ඇවිත්


බස්රථයක වැටී තිබූ මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමට ගොස් කොන්දොස්තරවරයකු ලැබූ තෑග්ගකි මේ. දිවුලපිටිය සිට පන්නල දක්වා දිවෙන බස්රථයකට සුරූපි තරුණියක් දිවුලපිටියෙන් ගොඩවූවාය. ඇය පන්නල අවසාන බස්නැවතුමට පෙර බසයෙන් බැස නොපෙනී ගියාය. ඇය සිටි අසුන අසල මුදල් පසුම්බියක් වැටී තිබී බසයේ සිටි කතක් කොන්දොස්තරට පෙන්වීය. 

කොන්දොස්තර එය අහුලාගෙන පරීක්‍ෂා කර බලා රියැදුරු ද සමග එක්ව පොලීසියට භාරදීමට ගියේය. ඔවුන් පොලිසියට යද්දි කාන්තාව ද පොලිසියේය.

ඇය පොලිසියට ගොස් සිටියේ මුදල් පසුම්බිය නැතිවුණා කියාගෙනය. මොවුන් අහුලාගත් මුදල් පසුම්බිය පොලිසියට භාරදුන් විට ඒ සමගම ඇය ද කැඳවා මුදල් පසුම්බිය මෙයදැයි පොලිස් නිලධාරියෙක් ප‍්‍රශ්න කළේය. ”අනේ... මගේ පර්ස් එක තමයි...

ගොඩාක් තෑන්ක්ස්” කියා එය පිරික්සූ කාන්තාව ”මේකෙ තිබුණ රුපියල් විසිපන්දහස නැහැනේ” කීවාය. පොලිසිය කොන්දොස්තරගෙන් ප‍්‍රශ්න කළේය. ඔහු කීවේ තමාට එවැනි මුදලක් මෙහි තිබී හමුවූයේ නැත කියාය.

පොලිසිය ඔහුට කීවේ විසිපන් දහස ගෙවිය යුතු බවය. කොස්දොස්තර අන්තිමේ බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක් ගෙන පොලිසියට භාරදී ආපසු ගියේ යළි කොන්දොස්තර රැකියාවට එන්නේ නැතැයි කියමිනි. සුරූපිනිය පොලිස් නිලධාරියාට තුති පුදමින් යන්නට ගියේ ලොවක් ජයගත්නා ලෙසය.