කොන්දොස්තරගේ දුමෙන් මගීනුත් හොල්මන්


 

එය පැලවත්ත සිට කොටුව දක්වා ධාවනය වන මාර්ග අංක 171 දරන පෞද්ගලික බස් රථයකි. උදේ හතයි පහට පැලවත්ත පාලම් තුන මංසන්ධිය අසලින් ගමන් ඇරඹි බස් රථය තුළ මගීහු කිහිප දෙනෙක් අසුන්ගෙන සිටියහ.


සිගරැට් දුමක් මගීන්ගේ නාස්වලට දැනෙන්නට වූයෙන් දුම්පානය කරන මගියා කවුරුන්දැයි මගීහු එකිනෙකා දෙස බලන්නට වූහ. සිගරැට් දුම පැමිණියේ බසයේ ඉදිරිපස දොරටුවෙනි. 


මගියෙක් නැගිට බැලූ විට දක්නට ලැබුණේ බසයේ කොන්දොස්තර සිගරැට්ටුවක් උරමින් පාපුවරුවේ ගමන් කරන අයුරුය. 


සුළඟට සිගරැට් දුමාරය බසය තුළ කැරකෙන්නට වූයෙන් සමහර කාන්තාවෝ තම නාස් ලේන්සුවලින් වසා ගත්හ. බසය තුළ ‘දුම්බීම තහනම්’ යනුවෙන් සිංහලෙන් දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් සඳහන් ස්ටිකරයක් ද විය. 


රජය මගින් දුම්පානය සම්බන්ධයෙන් නීති පැනවූවත් කොන්දොස්තර මහතාට එය බලපා නොතිබිණි. නාසය ආවරණය කළ ස්වසන ආබාධ සහිත රෝගියකු ද සිටීම කනගාටුවට කරුණකි. මෙම බස් රථයේ අංකය ලියුම්කරු සතුව ඇත. 


(ක්‍රිස්ටෝපර් සීපියන්)