කොන්දේ අමාරුකට ප‍්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත් කාන්තාවකගේ කීමකට බියට පත්වී ප‍්‍රතිකාර නොගෙනම ආපසු ගිය බව කියන පුවතක් වයඹ පළාතේ පුරාණ ගමකින් අසන්නට ලැබුණි.
ගෘහණියක වන ඇය කාලයක සිට කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටින්නීය.
මේ සඳහා ඇය දන්නා කියන බොහෝ තැන්වලින් කළ ප‍්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. සිදුවූ එකම දෙය නම් ඇගේ අතමිට හිඟවීමත් ඒ නිසාම පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමත් පමණි. අවසානයේදී ඇය තවදුරටත් තමාගේ කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර නොකර සිටීමට තීරණය කළාය. මෙසේ ටික කලක් ගතවිය. දිනක් මෙම රෝගී කාන්තාවගේ සැමියාට ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් වයඹ පළාතේ දක්ෂ ආයුර්වේද වෙද මහතකු පිළිබඳව විස්තර දැන ගැනීමට ලැබී ඇත.
එම විස්තරයට අනුව අදාල වෙද මහතා කැඩුම් බිඳුම් වෙදකමට විශේෂඥයෙකි. ඊට අමතරව ස්නායු රෝගාබාධවලට ද ප‍්‍රතිකාර කරයි. ඒ සඳහා ඔහුට රෝගියා විසින් බුලත් අතට තියා දෙන කීයක් හෝ සතුටින් පිළිගන්නවා හැර වෙන කිසිඳු මුදලක් ද අය නොකරයි. මෙම තොරතුරු රෝගී කාන්තාවට මෙන්ම ඇගේ පවුලේ අයට ද මහත් අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් විය. ඒ අනුව කතිකාකර ගත් දිනක උදෑසනම සිය සැමියා ද සමඟ රෝගී කත යතුරු පැදියකින් අදාළ වෙද ගෙදරට ගියාය.
ඔවුන් වෙද ගෙදරට යන විටත් රෝගීහු විශාල පිරිසක් තම අවස්ථාව එන තෙක් පෙළින් පෙළට අසුන් ගෙන සිටියහ. ඊට අනුව කටයුතු කළ අප රෝගී කත ද පියවරෙන් පියවර ඉදිරියට යමින් පැය කීපයකට පසුව වෙද මහතා සිටින කාමරයේ දොරටුවට ආසන්න වූවාය. ඒ වන විට වෙද මහතා හමුවට ගොස් සිටියේ ඇයට ඉදිරියෙන් වූ පුටුවේ වාඩිවී සිටි කොන්දේ අමාරුව වැළඳුණු තවත් කාන්තාවකි. ඇතුළේ සිටි ඇය එක් වරම ‘අනේ... අම්මෝ...’ යැයි කියා මෙහිදී මහ හයියෙන් කෑ ගසා ඇත.
එම හඬින් භීතියට පත් අප රෝගී කත එක්වරම ඒ අසන්නයේ රොගියකු සමඟ සිටි කාන්තාවකගේ මුහුණ දෙස බලා ඇත. එවිට එම කාන්තාව ‘කොන්ද කඩලලූනේ හදන්නේ ඒකයි ඔය’ යැයි අප රෝගී කතගේ කනට ළංවී පවසා ඇත. එම කතාව විශ්වාස කළ රෝගී කත තව තවත් භීතියට පත්වී ඇත. ඒ අනුව බිම බලාගත් ඇය වෙද මහතා හමුවීම පසෙක ළා හිමින් සීරුවේ තම අසුනින් නැගිට සැමියා සොයා පිටතට ගොස් ඇත.

