නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැපීමේ ගාස්තුව වශයෙන් පොළොස් ගෙඩි දෙකක් හා දෙහිගෙඩි කීපයක් කරණවෑමියා අත තැබීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
එය නගරයේ බාබර් සාප්පුවකි. පසුගිය දිනෙක මල්ලක්ද රැගෙන එයට ගොඩවූ වයෝවෘද්ධ පුද්ගලයකු තම කොණ්ඩය කපා දෙන්නැයි එහි සිටි කරණවෑමියාගෙන් ඉල්ලා සිටියේ එහි තිබූ අසුනක හරිබරි ගැහී වාඩි වෙමිනි.
කරණවෑමියාද සිය කාරිය මැනවින් ඉටුකළේ ඔහුගේ ආ ගිය තොරතුරු පිළිබඳව ද විමසමිනි. කෙසේ වෙතත් කොණ්ඩය කැපීමෙන් පසුව සිය අසුනින් නැගිටගත් එම පුද්ගලයා කොණ්ඩය කැපීමේ ගාස්තුව වෙනුවට මල්ලට අත දමා එළියට ගත් පොළොස් ගෙඩි දෙකක් හා දෙහි ගෙඩි කීපයක් කරනවෑමියා අත තැබුවේ ඔහු අන්ද මන්ද කරමිනි.
“අනේ පුතේ මට සල්ලි නැහැ. දැනට ඕක තියාගනින්. මම ආයෙ එන දවසක කෙහෙල් මුව දෙකක් ගෙනත් දෙන්නම්. මම මේ පොළට හැමදාම එනවා” කරන්නට අන් යමක් නැතිව දුටු කරණවෑමියාද පොළොස් ගෙඩි දෙක හා දෙහි ගෙඩි කීපය පසෙකින් තැබුවේ වයෝවෘද්ධ පුද්ගලයාට පිටව යන්නට දොර විවෘත කර දෙමිනි.
(වියලුව වාර්තාකරු)

