කොඩිවිනය කපන්න සොහොනට යද්දී යකැදුරු පිස්සු නටලා


(තිහගොඩ - උපසේන ලියනගේ)

තමා විසින් පරීක්‍ෂා කළ පේනයකට අනුව ස්ථීරවම නිවෙසට කොඩිවිනයක් කර ඇති බව දැනගෙන එය කැපීමට එම නිවෙසට ගිය යකැදුරකු ගෙහිමියා හා එක්ව කළ අපූරු කටයුත්තක් පිළිබඳව පසුගියදා දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබිණ.

මේ යකැදුරා කොඩිවිනය කැපීමට නම් තමා සකස් කළ පූජා කට්ටලයක් සොහොනකදී ජීවම් කිරීටම අවශ්‍ය බව ගෙහිමියාට කියා තිබේ. නිවසේ සිට සොහොන් බිම දක්වාම දුම්මල වරම් ගයමින් නට නටා යායුතු බව පැවසූ ඔහු තමාගේ කකුලේ ආබාධයක් නිසා පයින් යා නොහැකි නිසා වාහනයක් සපයන ලෙස කියා තිබේ. ගෙහිමියා අසල්වැසි හිතවතකුගේ වෑන් රථයක් මේ සඳහා සූදානම් කළ අතර ඉන් ගමන ආරම්භ කරත්ම එතුළට නැගගත් යකැදුරා දුම්මල වරම් ගයමින් නටන්නට පටන්ගෙන තිබේ.

මෙය දුටු වෑන් රථයේ රියැදුරාට දෙවියන් සිහිවී ‘‘ ඕක ඇතුළේ ඔය වැඬේ නම් කරන්න එපා.’’ කියා ඔහු බිමට බැස්සවූ අතර මන්තර ගුරුකම් ලත්තැනම ලොප්වුණාලූ.