මාවරල පී.එස්. මද්දුමගේ
හස්ත සංඥාවක් නිසා තරුණයකුට වූ හදියක් මාතර දිස්ත්‍රික්කයේ ආදලුව ගමෙන් අසන්නට ලැබේ.
උපකාරක පන්ති යාමට මහ පාරට පැමිණ සිටි තරමක ලස්සන නව යෞවනියක වූ ඇය නිවෙසින් පැමිණෙන විට කුඩය ගෙන ඒමට අමතක වීමෙන් දැඩි හිරු රශ්මිය නිසා පීඩාවට පත්ව සිටියාය. පන්තියේ දී බීමට ගෙනා වතුර බෝතලයෙන් ද මුහුණ සොදා ගත් ඇය බස් රථය පැමිණෙන තෙක් වසා දමා තිබූ කඩ පිලක රැඳී සිටියාය.
කඩය පිහිටියේ ප්‍රධාන පාරේ වැලමිටි වංගුවක පහළ කොටසේය. පාරේ ඉහළ කොටසේ නිවාස සහ කඩ කීපයක් ද තිබූ අතර එම ස්ථානයේ ගමේ තරුණයන් පිරිසක් ද රැඳී සිටියහ.
ලේන්සුවක්ද ළඟ නොතිබූ නිසා ඇය තම අත්ල දෙපසට වනමින් මුහුණට පවන් සලමින් කාලය ගත කළේ වට පිටද බලමිනි. ඒ බස් රථය කොයි මොහොතක හෝ පැමිණෙනු ඇතැයි විශ්වාසයෙනි.
කාලය ගෙවී ගිය ද බස් රථය නොආවේය. ඇය දැඩි ලෙස අව්රශ්මියෙන් පීඩාවට පත් වූයෙන් දහඩියෙන් මුහුණ පෙෙඟන්නට විය.
මේ අතරතුර පාරේ ඉහළ කොටසේ කඩයක සිටි තරුණයෙක් ඇය අසලට ඉතා ඉක්මන් ගමනින් පැමිණියේය.
“නංගි ඇයි කතා කළේ? විමසුවේ මුවගට දිගු සිනහවක් නගමිනි.
මෙයින් ඇය පුදුමයට පත් වූවාය. මම කාටවත් කතා කළේ නැහැ. පන්ති යන්න බස් එක එනකම් තමයි ඉන්නෙ. අද වෙලාවට එන බස් එක නෑ.
“නංගි ලජ්ජ වෙන්න ඕන නෑ. ඔයා අත වන වන මට කතා කළා නේ.’’
“ඔයාට පිස්සු. මම රස්නෙ හින්දා මුහුණට පවන් සලා ගත්ත මිසක් කාටවත් අත වැනුවෙ නෑ කතා කළේත් නෑ. මට කවුරුත් ඕනෑ නෑ..’’ ඇය කියාගෙන කියාගෙන ගියේ තරමක් තරහෙනි.
තරුණයාට සිදු වීම වැටහී ගියේ ඉන් පසුවය. නංගී සමාවෙන්න මට වැරැදීමක් වුණා. කියා රතු වූ මුහුණින් යුතුව තරුණයා ආපසු කඩය දෙසට ගියේය.
කඩ පිලේ සිටි තරුණයන් කීප දෙනකු එම තරුණයාට උසුළු විසිළු කරන ආකාරය ඇය සිනා මුසු මුහුණින් යුතුව අසා සිටියේ අව් රශ්මිය ගැන ද අමතක කරමිනි.