ගිනි පෙට්ටි හිඟයක් පසුගිය දිනවල ඇති විය. සමහර වෙළෙඳ සල් හිමියෝ භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් ගිනි පෙට්ටියක් දීමට කාරුණික වූහ. දිනක් රියැදුරු මහතෙක් වෙළෙඳ සලකින් මදුරු දඟර දෙකක් සමඟ ගිනි පෙට්ටියක් මිලදී ගෙන තම සේවා ස්ථානයට පැමිණියේය.
ඔහුගේ මිතුරෙකු ‘‘මචන් මට ගිනිකූරු තුන හතරක් දීපන්’’ යැයි පැවසීය. ගිනි පෙට්ටිය අතට ගත් මිතුරා එය විවෘත කර, ‘‘මේකේ කූරු අඩුයිනේ’’ යැයි කීය. ගිනි පෙට්ටියක කූරු හතළිස් පහක් තිබිය යුතු වූවත් එහි තිබුණේ හතළිහකි.
රියැදුරා ගිනි පෙට්ටිය රැුගෙන ගොස් මුදලාලි හමුවී, ‘‘මේකේ කූරු අඩුයිනේ’’ යැයි පැවසීය. ‘‘මොනා කරන්නද මල්ලී, ගිනි පෙට්ටි ආපු හැටි තමයි. අපි ගිනි පෙට්ටි ගන්න තොග කඩෙන් මේ දවස්වල ගිනි පෙට්ටියක් දෙන්නේ රුපියල් පහට. අපි විකුණන්න ඕනෙත් රුපියල් පහට. ඒ වුණාට අපි ගිනිකූරු අඩු කරන්නේ නැහැනේ’’ යැයි පැවසීය.
රියැදුරා පිටව ගිය පසු මුදලාලි තම භාර්යාව අමතමින් ‘‘කව්ද හිතුවේ මිනිස්සු දැන් ගිනි කූරුත් ගණන් කරනවා කියලා’’ යැයි පැවසුවේ සිනා සෙමිනි.

