කුරුඳු කැලෙන් හමුවූ බිරිඳගේ තුරුල්ලේ ෆෙස් බුක් පෙම්වතෙක්


ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
ජංගම දුරකථනයත්, සමාජ මාධ්‍ය ජාලාවත් නිසා සිය සොඳුරු පවුලක අනාගතයම කාබාසිනියාකර ගැනීමට ගිය තරුණ විවාහක කාන්තාවකගේ පවුල් ජීවිතය පොලිසියේ මැදිහත්වීමෙන් යළි යථා තත්ත්වයට පත්කර දුන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.


මෙම තරුණිය හැඩකාර සුරූපි තරුණියකි. ඇය ජීවත් වූ ගම්මානයේ කුරුඳු තැලීමට පැමිණ සිටි තරුණයෙකු සමග ඇය පෙමින් බැඳුනාය. පසුව දෙපාර්ශවයේ මවුපිය ආශිර්වාද මැද දෙදෙනා විවාහ වූහ. තරුණියගේ දෙමවුපියන් විසින් ලබාදුන් ඉඩමක පුංචි නිවසක් සාදාගෙන එහි මොවුන් දෙදෙනා ඉතා සතුටින් කල් ගෙවූහ. මෙම තරුණ යුවළ එක්ව කුරුඳු තැලීමේ රැකියාව කරමින් ඉතා හොඳින් කාලය ගත කරන අතර තුර මේ පුංචි කැඳැල්ලට අමුත්තියක්  ආවාය. ඒ සුරංගනාවක් වන් දියණියකි.


දියණිය ලැබීමෙන් පසු තරුණ යුවළට එක්ව කුරුඳු තැලීමේ රැකියාව කළ නොහැකි වූ අතර බිරිඳ හා දරුවා නිවසේ සිටිය දී සැමියා පමණක් කුරුඳු තැලීමට ගියේය.


මෙසේ රැකියාවට යනවිට ඔහුට ප්‍රදේශයෙන් පිට දුර පළාත්වලට ද යාමට සිදුවන හෙයින් බිරිඳගේත්, දියණියගේත් දුක සැප සොයා බැලීමට අවශ්‍ය නිසා ඔහු බිරිඳට ද ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා දුන්නේය.


පුංචි දියණියගේ අවශ්‍යතා ඉටුකිරීමෙන් පසු පාළුවෙන් කාලය ගෙවා දමන බිරිඳ සිය පාළුව මකා ගැනීමට ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය ජාලයට ( Facebook) පිවිස ඒ මගින් නොයෙක් මිතුරු මිතුරියන් ද ඇසුරු කළාය.


මේ අතර දුරකථනය මගින් හඳුනාගත් මිතුරෙකු ඇයගේ හිත දිනා ගැනීමට සමත් විය. හැඩකාර තරුණයකු වූ ඔහු කිසිදු රැකියාවක් නොකළ ද මෙම තරුණ කාන්තාව හා පෙමින් වෙළුණාය. මේ තරුණ පෙම්වතා හැබැහින් දැක ගැනීමේ ආශාවක් ඇයට ඇති වූ නිසා ඊට කල්‍ යල් බලමින් ඇය කාලය ගත කළාය.


පසුගිය දිනෙක සැමියා ඈත ප්‍රදේශයක කුරුඳු තැලීමට පිටත්ව ගියේ බිරිඳ හා දියණිය සිප සනහා තමන් සතියකින් ආපසු එනතුරු පරිස්සමින් සිටින ලෙස පවසමිනි. ලැබුණ මෙම කදිම අවස්ථාවෙන් තම සිතැඟි ඉටුකර ගැනීමට කල්පනා කළ ඇය මේ බව සිය අනියම් පෙම්වතාට දැන්වීමෙන් පසු ඔහු ද මිටෙන් හල කුරුල්ලෙකු මෙන් ඇය සොයා ආවේය. සැමියා සතියක් නිවසට නොඑන නිසා ඇය අනියම් පෙම්වතා නිවසේ නතර කර ගත්තේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි. ඒ වනවිට මෙම කාන්තාවගේ ගැබට තවත් දරුවෙකු පිළිසිඳගෙන තිබුණ නිසා ඇයට මේ අනියම් පෙම්වතා හා තහනම් ගහේ ගෙඩි කන්නට කිසිදු බාධාවක් තිබුණේ නැත.


මේ අතරේ  දිනෙක රෑ සැමියා නිවසට පැමිණියේ හිටි හැටියේමය. ඒ වනවිට තරුණයකු සමග නිදහසේ පෙම්සුව විඳිමින් සිටින බිරිඳ දුටු සැමියා යක්ෂාවේශ වුව ද තරුණ බිරිඳට දැඩිසේ ආදරය කළ ඔහු මේ දෙදෙනාට කිසිම ශාරීරික හිංසාවක් නොකර දෙදෙනාම ආසන්න පොලිස් ස්ථානයට රැගෙන ගියහ.


පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාරුණික අවවාද හා උපදෙස් මත තරුණ යුවළ පුරුදු පරිදි පවුල් කන්නට තීරණය කළ අතර අනියම් පෙම්වතාට එම ප්‍රදේශයට යළි පැමිණීම තහනම් විය.