(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුරා සති ගණනක් තිස්සේ හිමිදිරි උදෑසන ගෙන ගොස් දැමූ කසළ මලු සියල්ල සතිඅන්තයේ තම නිවස ඉදිරිපිට තිබෙනු දැකීමෙන් පසු ඒවා සියල්ල වළ දමා එම වැරැද්ද යළි කිරීමෙන් මිදුණු පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.

කොළඹ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන පුද්ගලයෙකි. කොළඹ ගමන දුම්රියෙනි. දුම්රියපොළ දක්වා ගමන් කරන්නේ යතුරුපැදියෙනි. නිවසේ එකතුවන කසළ සියල්ල පොලිතින් උරයක දමා ගෙන යන ඔහු මේ මල්ල පාර අයිනේ නිවෙස් නැති තැනක් බලා වත්තකට විසි කර දමා යාම සිරිතක් කර ගෙන ඇත.
මේ ස්ථානයේ කෙළවරක ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයා කිසියම් අවශ්‍යතාවකට වත්තේ ඇවිදිද්දී මේ කසළ මලු දැක්කේය. ඔහු කෝටුවක් ගෙන මේ මලු එකින් එක පිරීක්සා බැලීය. කිසිදු තොරතුරක් සොයා ගන්නට නොහැකි විය.
එදා සිට ඔහු වැඩ අරඹන්නට පෙර කසළ මලු පරීක්ෂාව සිරිතක් කර ගත්තේය. දින කිහිපයක් ගත වෙද්දී ඔහු ජය ගැනීමට සමත්විය. එදින පිරික්සූ කසළ මල්ලේ ලියුම් කවර කිහිපයක් විය. ඒවා සියල්ල එකම ලිපිනයක් සහිත ඒවා විය. ඒ අනුසාරයෙන් මේ කසළ ගෙනැවිත් දමන පුද්ගලයා අඳුනා ගැනීමට මේ කාර්මිකයා සමත් විය. ඔහු එදින රෑ බෝ වෙද්දී පෝර උරයක් ගෙනැවිත් සියලු කසළ මලු එහි බහාලීය. සහායකයකු සමඟ ලිපිනයේ සඳහන් නිවස කරා ගිය ඔහු මහ රෑ මේ කසළ ගෝනිය මිදුලට විසි කර දමා ගියේ ජයග්‍රාහී අන්දමිනි.
පසුදා එළිය වැටෙද්දී මිදුල එකම අපායකි. බල්ලන් කසළ ගෝනිය ඇදීම නිසා කසළ තැන තැන විසිරී ගොසිනි. දුර්ගන්ධය පැතිර යයි. මේ කිසිත් නොදත් නිවැසියා එදිනත් අලුයම සේවයට යාමට සූදානම්ව එළියට ආයේ සුපුරුදු පරිදි කසළ මල්ලක් ද අතැතිවය. මිදුල දුටු ඔහුට සියල්ල වැටහිනි. කසළ දමන්නට වෙන තැනක් සොයා ගන්නට සිදුවන බව තේරුම් ගියේය.
රැකියාවට යාම අතහැර දැමූ ඔහු බිරියත් දරුවනුත් නැගිටින්නට පෙර කසළ සියල්ල වළ දැමීමට සමත්වූවත් පැවති දුර්ගන්ධය ඔවුන් ගෙන් වසන් කරන්නට බැරිවිය. අන්තිමේ සියලු තතු හෙළිකළ ඔහු යළි මෙවැනි වැරදි නොකරන බවට බිරිය හා දරුවන් ඉදිරියේ සපථ කළේය.

