කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
නිවසේ දෛනිකව එකතුවන කැළි කසළ බැහැර කිරීමට යොදාගත් අපූරු උපක්‍රමය නිසා අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳ දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
කුණු ට්‍රැක්ටරයට මේ නිවෙසෙන් කුණු නොවැටෙන තරම්ය. ඒ කුණු ට්‍රැක්ටරය එනවිට නිවැසියන් නිවසේ නොමැතිවීම නිසාය. නිවෙසේ කුණු ට්‍රැක්ටරයට පැටවීම සඳහා නිවෙස ඉදිරිපස තිබීමට ද නොහැකිය. ඒ සතුන් ඇද විනාශ කරන බැවිනි. මේ නිසාම නිවෙසේ කුණු බැහැර කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනයේ කුණු ට්‍රැක්ටරයේ සේවකයකුට එය පන්ගාර්තු කළේය. ඔහු රෑබෝවී යතුරු පැදියෙන් පැමිණ එම නිවෙසේ කුණු ටික රැගෙන යන්නේය. ඒ සඳහා ගාස්තුවක් ද ඔහුට ලැබුණේය.
පුතාගේ උපකාර පන්තියේ ගුරුවරයාගෙන් නිවෙස් හිමියාට හමුවන ලෙස පණිවිඩයක් එන්නේ මේ අතරය. මේ පණිවිඩයත් සමගම නිවෙස් හිමිගේ සිතට පුතු ගැන එන්නේ දෙගෙඩියාවකි. ගුරුවරයා තමාට එන්න යයි කියන්න ඇත්තේ දරුවාගේ දඟ වැඩක් කියන්නවත් දැයි ඔහුගේ සිතට නැගෙයි. එසේත් නැත්නම් දරුවා ඉගෙන ගන්නා විෂයේ දුර්වලතාවක් වන්නට ඇත්දැයි ද ඔහුගේ සිතට ආවේය. කොහොම නමුත් ගුරුවරයා හමුවීම අනිවාර්යය වී තිබීම නිසා ඔහු එහි ගියේය.
‘මම නම් හිතන්නේ නැහැ ඔයාලා මෙහෙම වැඩක් කරාවි කියලා’ ගුරුවරයා එහි ගිය ඔහුට කීවේය. මේ කතාවත් සමගම ඔහු උඩගොස් බිම වැටුණාක් මෙන් විය.
‘මට තේරෙන්නේ නැහැ සර් මොකක්ද මේ කියන්නේ කියලා’ යයි ඔහු කී විට ගුරුවරයා නැවතත් සිය කටහඬ අවදි කළේය.
මේකයි මිස්ටර්, ඔයාලාගේ ගෙදර කුණු බෑග් එකක් අපේ ගේ ඉස්සරහා පාරේ දාලා ගිහිල්ල තියෙනවා. කුණු බෑග් එක පොඩ්ඩක් විපරම් කරලා බැලුවාම ඔය ගොල්ලන්ගේ නමට ආපු ලිපි කවර වගයක් තිබුණා. මම හිතුවා ඉතින් මේ කුණු බෑග් එක ඔයාලාගේ වෙන්න ඇති කියලා’ යැයි ගුරුවරයා කියාගෙන යනවිට ඔහුට තරු පෙනුණේ කුණු ට්‍රැක්ටරයේ සේවකයා තමන්ගෙන් ගාණකුත් කඩාගෙන කුණු බෑග් පාරේ දමා යන්නට ඇතැයි සිහිවූවිටය.
හදිසියේවත් මහජන පරීක්ෂකවරයාට මේ කුණු බෑග් එක හමුවුණානම් තමන්ට උසාවි ළගින්නවී සිය සායම යන බව ද මතක් විය.
ගුරුවරයාගෙන් මේ සම්බන්ධයෙන් සමාව ගත් ඔහු නිවෙසට ආවේ තමන්ගේ කුණු අනුන්ට බරක්වීමට කුණු වැඩක් කළ කුණු සේවකයාට හොඳවායින් දෙක තුනක් කතා කරන බව සිතා ගනිමිනි.