කුඩ්​ඩෙකුට පෙම්කර මූණත් නරක් කරගෙන


තලාව  උපුල් හේරත් 
කුඩ්ඩකු සමග නොදැන අනියම් ඇසුරක් පැවැත් වූ තරුණියකට මුහුණෙන් පැත්තකුත් රන් ආභරණත් අහිමිවීමේ පුවතක් අනුරාධපුරයට නුදුරු ගමකින් ඇසෙයි.


සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය.


රාජාංගනයට නුදුරු ගමක තරුණියක් හදිසියේම මෙන් හමුවූ මහවිලච්චිය ප්‍රදේශයේ හාදයකු සමග මිතුරු දමක් ඇති කර ගත්තාය.


කල් ගතවෙද්දී එය ප්‍රේමයක් බවට පත්වූයේ ඇයටත් නොදැනීය. පසුගිය දිනක සිය ප්‍රේමවන්තයාගෙන් හදිසි ඇමතුමක් මෙම තරුණියට ලැබිණි. ඔහුගේ දැනුම්දීම අනුව දෙදෙනා මුණගැසුණේ අනුරපුර නගරයේදීය. සවස් වන තුරු තැන්තැන්වල නන් දොඩමින් සිටි දෙදෙනාට කාලය ගතවන බව වගේ වගක් නොවීය. 


ප්‍රේමවන්තයාට අයත් යතුරපැදියෙන් දෙදෙනා ගමන් කරන අතරතුර ප්‍රේමවන්තයාගේ නිවෙසට යාම සඳහා කතිකා කරගත්තත් තමන්ට මෙය අනතුරක් බව තරුණියට නොවැටහිණි. මහවිලච්චිය බලා ගමන් ආරම්භ කරන විට රාත්‍රි 10.00ද පසු වී තිබිණි.


හදිසියේම යතුරුපැදිය මඟ නැවතූ ප්‍රේමවන්තයා කිරල්පැටියාවේ මස් වගයක් තියෙනවා ඒකත් අරන් යමු යැයි යෝජනා කළේය. ඊට කැමැති වූ තරුණිය යතුරුපැදියේ නැගී අල්ලාප සල්ලාප දොඩමින් ගමන් ගත්තේ පෙම් සයුරේ කිමිදෙමිනි. 


කිරල්පැටියාවේ ගිනිපෙට්ටි පාලම අසල යතුරුපැදිය  නැවතිණි. ඒ එක්කම දෙදෙනා අතර යම් ආරවුලක් හට ගෙන එය දුර දිග ගියේය. 


තරුණියගේ මුහුණ සපා කෑ තරුණයා ඇය පැළඳ සිටි රන් මාල තුනක් හා එහි එල්ලා තිබූ පෙන්ඩන ද රැගෙන තරුණියගේ ජංගම දුරකතනය ද රැගෙන මහා රෑ නොපෙනී ගියේ ඇය අන්දමන්ද කරමිනි.


සිද්ධිය පොලිසිය දක්වා ගියේය. ප්‍රේමවන්තයකු ලෙස පෙනී සිටි තරුණයා මතට ඇබ්බැහි වූවකු බව පොලිසියේ දී හෙළි වෙද්දී තරුණියට තරු පෙනුණි. ප්‍රේමවන්තයා දැන් දම්සක් ගෙදර කූරු ගනී.