(හොරොව්පොතාන පැතුම් දර්ශන)
තිදෙනාම ගජ මිතුරන්ය. කන්නේ බොන්නේ එකටය. තරුණ සමයේ සිට පැවති මිතුදම විවාහ වී බොහෝ කල්ගත වුවත් දිගටම පැවතියේය.
ඒ නිසාම සතියකට වතාවක් හෝ අඩියක් ගසන්නට මිතුරන් අමතක කළේ ද නැත. ඒ සඳහා ඔවුනගේ පුරුදු ස්ථානය වූයේ වැව් බැම්ම කෙළවර තිබූ කැලෑබද පාළු ස්ථානයකි. මෙදිනද තිදෙනාගේ එකඟතාවෙන් අදාළ ස්ථානයේ මිතුරෝ එක්වූහ. සාදය අතරතුර දී එකෙකුගෙන් ආවේ අපූරු යෝජනාවකි.
‘‘අල්ලපු ගෙදර කුකුළගෙන් අපට හෙන කරදරේ. හැමදාම රෑට අපේ කූඩුවට රිංගනවා. අයිතිකාරයන්ට කිව්වට වැඩක් නෑ. උන් ගණන් ගන්නේ නෑ. අපේ කූඩුවෙ කුකුළා එක්ක හැමදාම පොරකනවා. එපාවෙලා තියෙන්නේ, මේක ඉවරයක් කරන්න ඕනේ. අනිද්දා රෑ අපි සෙට් වෙමු බයිට් එක මගේ ගානේ. මෙතනම උයලා පාටිය දාමු. කාටවත් කියන්න එපා.”
කතා කරගත් පරිදි සියල්ල සූදානම් විය. එදින රාත්‍රියේ තිදෙනාගේ රහමෙරට කටගැස්ම වූයේ කුකුළු මස්ය. සාදය නිම වන විට රෑ දොළහත් පසුවිය.
පසුදින එළිය වැටුණ පමණි. කුකුළු කූඩුව හිමි මිතුරා සිය මිතුරන් දෙදෙනා සොයා ගෙන පැමිණියේ විදුලි වේගයෙනි.
හරි වැඩේනේ වෙලා තියෙන්නේ. ඊයේ රෑ පාටිය වෙළාවේ කරුවලේ බෙල්ල මිරිකල තියෙන්නෙ අපේ ගෙදර ඇති කරපු කුකුළගෙ. අල්ලපු ගෙදර එකා අන්න යහතින් ඉන්නවා. කරුවලේ වැඩේ පැටලිලා. ගෙදර ගෑනිටත් මේ ගැන ඉව වැටිලා. උන්දෑ ගෙදරින් යන්න රෙදි හදාගන්නවා. මට දැන් කුකුළත් නැතිවෙලා ගෑනිත් නැති වෙන්නයි යන්නේ.” කියමින් හඬා වැටුණාලු. නිවසින් පිටව ගිය බිරිය දින තුන හතරක් ගියත් තවමත් පැමිණ නැති බව කියැවේ.