කිරිඳිවැල උපාලි රණවීර
දොම්පේ දෙකටන ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව කුකුළු මස් කෑමේ ආසාවක් ඇති වී අසල්වැසි කොටුවක සිටි කුකුළකු මරා දැමුවත් පසුව කුකුළු මස් කෑමේ ආසාව බොඳවී අධිකරණය හමුවට යාමට සිදු වීමේ පුවතක් දොම්පේ පොලිසියෙන් වාර්තාවේ.
ඔහු විසි හැවිරිදි තරුණයෙකි. මිතුරන් සමග මත්පැන් පානය කර නිවෙසට පැමිණීමෙන් පසුව කුකුළු මස් කෑමේ ආසාවක් ඇති වුවත් ඒ වන විට කුකුළු මස් කඩ වසා තිබිණ.
ආශාව අත් හරිනු බැරිම තැන අසල්වැසි කුකුළු කොටුවක සිටි එකම කුකුළා සොරකම් කර ගෙන ආවේය.
ඒ වන විටත් එම කුකුළාගේ අයිතිකරුවන් ඔහු පසුපස හඹායෑම නිසා ඔහු කුකුළා ද රැගෙන අසල්වැසි අවමංගල්‍ය නිවෙසකට පැමිණ සැඟවී ස්වල්ප වේලාවකින් කුකුළාද රැගෙන කැලයක සිටියදී ඔහුට නින්ද ගියේය.
පසුදා පහන් වී නැගිට බලද්දී කුකුළා නරක්වී තිබිණ. නරක් වුණ කුකුළා කැලයට විසිකර ඔහු නිවෙසට පැමිණ සිටියදී පොලිසියෙන් පැමිණියේය. ඒ රුපියල් 2000ක් වටිනා කුකුළකු සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමටය.
ඔහු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.