කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක‍්‍රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවකයකුට වූ අකරතැබ්බයක් වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ජනප‍්‍රිය හෝටලයකට ඉතා දුරබැහැර ප‍්‍රදේශයකින් පැමිණ එම හෝටලයේම නැවතී සේවය කරන සේවකයකු තමන්ට නිවාඩු වේලාවට නිතරම අවට කැලෑරොදවල හා හෝටල් උද්‍යානයට පැමිණෙන සතුන් ගැන සොයා බලමින් සිටීම පුරුද්දක් ලෙස කරමින් සිට ඇත.
එක් දිනක් කිරල ජෝඩුවක් අවට භූමියේ ගැවසෙමින් සිටි නිසා මේ හෝටල් සේවකයා ඒ ගැන සොයා බැලීමේදී දැක ඇත්තේ කිරල බිත්තර රකිමින් සිටින කිරල ජෝඩුවකි. අවට පරිසරයේ මෙම බිත්තර කා දැමීමට වෙන සතුන් පැමිණෙතැයි බියෙන් මෙම සේවකයා කර ඇත්තේ කිරල බිත්තර තිබූ තැනින් ගෙන ආරක්ෂිත තැනකට ගොස් තැබීමයි. එමෙන්ම අව්වෙන් වැස්සෙන් බේරීමට එම බිත්තර උඩින් කුඩයක්ද තබා ඇත.
සේවකයාගේ මෙම ක‍්‍රියාව දැනගත් හෝටල් කළමනාකරු එසේ නොකරන ලෙස අවවාද දී ඇතත් එය නොසලකපු සේවකයා දිනක් ඉහත බිත්තර බැලීමට යාමේදී කිරල ජෝඩුව මෙම සේවකයා පසුපස පන්නමින් ඔළුවට හා මුහුණට කොටා දැඩි තුවාල කර ඇති අතර කිරල ප‍්‍රහාරයෙන් බේරීමට යාමේදී අසල තිබූ වළකට වැටී පාදයකට ද හානිවී මාසයක්ම නිවසේ සිට ප‍්‍රතිකාර ගන්නට සිදුවී ඇත.

