කැඩුණු බයිසිකලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් කඩාගෙන


(තිහගොඩ - උපසේන ලියනගම)
කාර්යාලයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. තමා ගමන් ගන්නා යතුරුපැදිය ගරාජයක නැවැත්වූයේ එහි ධාවන වේගය ඉතාම අඩු බව පවසමිනි.
යතුරුපැදිය පරීක්‍ෂා කළ සේවකයා එය පණ ගැන්වීමට සලස්වා වේගය වැඩිකොට සිවු වරක් එහි දුම් බටයට ලී මිටියකින් පහර ගැසීය.
විශාල කළු දුමක් පිටවිය. යළිත් සිවුවරක් තට්ටු කළ විට තද කළු දුම අඩුවෙමින් පිටවිය.


”වැඬේ හරි” නිලධාරියාට කී ඔහු ගාස්තුව රුපියල් අසූවක් බව කීය. ඔහුට තරු පෙනිණ. ”එතකොට එක තට්ටුවක් රුපියල් දහයයි” ඔහු කීවේ සාක්කුවෙන් මුදල් අදින ගමන්ය.


”තට්ටුව නෙමෙයි සර් මගේ තාක්‍ෂණයයි සර්ගෙ තත්ත්වයයි එක්ක ගාන කීවේ” කී ඔහු රුපියල් සියයේ නෝට්ටුව මිට මොලවා ගෙන නිලධාරියාට රුපියල් විස්සක් දුන්නාලූ. ගාල්ලේ උප නගරයකින් ඇසුණු සත්‍ය පුවතකි.