(තිහගොඩ උපසේන ලියනගම)
උදෑසනම ඡන්දය දැමීමට ගිය ඔහුට මහ මග අසල නිවසකින් ඇසුණේ මහ ඝෝෂාවකි. අලූත කැපූ ළිඳකට ගව පැටවකු වැටී එය ගැනීමට පිරිසක් වෙහෙසෙන අයුරු දුටු ඔහු ඊට උදව් කිරීමට ගියේ තම කමීසය ගලවා අසල නිවසේ මිදුලේ වූ රෙදිවැලේ එය එල්ලමිනි.
පසුව ඡන්ද පොළට ගිය ඔහු තම හැඳුනුම්පත දුන් පසු පරීක්ෂා කළ නිලධාරිනිය පුදුමයට පත්ව ‘‘මේ කවුද ගෑනු කෙනෙක්නෙ” කීවේ එය ආපසු ඔහුට දෙමිනි. එහි වූයේ නාඳුනන කාන්තා රුවකි. ඔහුට තරු පෙනිණි.
යළිත් සාක්කුවට අත දැමු ඔහුට තම හැඳුනුම්පත තිබීම නිසා ඡන්දය දැමීමට හැකි වුවත් කාන්තා හැඳුනුම්පත ඔහුට මහා ගැටලූවක් විය. ඡන්දය දමා ආපසු එනවිට ගව පැටවා ගොඩගත් නිවසට ගිය විට එම හැඳුනුම්පත අයිති කාන්තාව පැවසුවේ, ” දූ කලබලේ මගේ බෑග් එක අරගෙන ඡන්දෙට බස් එකට දුවද්දී ඒකෙ තිබුණු අයිඩින්ටි කාඞ් එක වැලේ තිබුණු කමිස සාක්කුවට දාලා ගිහිං. ඒ කමිසෙ අපේ මනුස්සයගෙ කියල හිතල මට කෝල් එකක් දුන්නා’’ ඇය කීවේ සතුටෙනි.
උදේ පාන්දර උදව් කරන්න ගිහිං තව පොඞ්ඩෙන් මම පොලිස් කූඩුවේ” ඔහු කීවේද සිනාසෙමින්ලූ. මේ කළුතර පැත්තේ උප නගරයකින් ඇසුණු පුවතකි.

