කාඩ් හොරා දැක්කාම අයිතිකරුට දවල්තරු පෙනිලා


පේරාදෙණිය-කුමාර රම්බොඩගෙදර
තම බැංකු කාඩ්පත උපයෝගීකරගෙන මත්පැන්හලකින් සිදුකළ ගනුදෙනුවක් සම්බන්ධ ආරක්ෂිත කැමරා දර්ශන දැකීමෙන් සිහිසුන් වූ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තාවේ.


කන්ද උඩරට නගරයක ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකුගේ ජංගම දුරකථනයට ලද කෙටි පණිවිඩයේ දක්නට ලැබුණේ තම බැංකු කාඩ්පත උපයෝගී කරගෙන නගරයේ මත්පැන්හලක සිදුවූ ගනුදෙනුවක් පිළිබඳවයි.


පණිවිඩය දුටු සැණින් කලබලයට පත් රාජ්‍ය නිලධාරියා තම මුදල් පසුම්බිය තුළ තිබූ බැංකු කාඩ්පත පරීක්ෂා කිරීමෙන් පසු කාඩ්පත එහි නොමැති බව දැන බැංකු කාඩ්පත හිමි බැංකුවට කතා කර අදාළ ගිණුම අක්‍රිය කළේය. 


ඉන්පසු ගනුදෙනුව සිදුකළ මත්පැන්හල වෙත ගොස් ගනුදෙනුවට සම්බන්ධ පටිගත වූ ආරක්ෂක කැමරා බලාගන්නට ගියේ එහි අයිතිකරුවන්ද දැනුවත් කරමිනි. කැමරා දර්ශන ටිකින් ටික එද්දී ඔහු සිහිසුන්විය.


ටික වෙලාවකින් පසු අදාළ නිලධාරියා ප්‍රකෘති තත්ත්වයට පැමිණි බව දුටු එහි කළමනාකරු සර් දැන් කොහොමද කියලා විමසුවේ සිදුවූයේ කුමක්දැයි හරියටම දැන ගැනීමේ අරමුණෙනි. ආරක්ෂිත කැමරා දර්ශනවල සිටියේ මගේ එකම පුතා එයා ගෙදරින් ආවේ යාළුවකුගේ ගෙදර පාඩම් කරන්න යනවා කියලා. ඔහු කියා සිටියේ දැඩි කලකිරීමෙනි.


මම මේ ගැන ළමයාගේ අම්මාට කොහොම කියන්නද? නෝනා ගුරුවරියක්. අපි දෙන්නම රටේ දරුවන් යහමගට ගන්නට උදේ රෑ නැතිව වැඩ කරනවා. නමුත් අපේ දරුවා හදාගන්න අපට බැරිවුණා යැයි පවසා ඔහු ඉන් පිටව ගියේය.


කළමනාකරු සහ කාර්ය මණ්ඩලය ඔහු යන දෙස බලා සුසුම්ලෑවේ කාට කාටත් මේවා හොඳ පාඩම් කියන්නාක් මෙනි.