කසිප්පු වැටලීමකදී පෙරුම්පොළ අතහැර පළා ගිය බව කියන සැකකරුවකු ඔහුගේම නිවසේ ඇඳක් යට සැඟවී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව නව ගත්තේගම පොලිසිය කියයි.
ඔහු 45 හැවිරිදි තිදරු පියකු බවත් පොලිසිය පැවැසීය. මොහු ප‍්‍රදේශයේ දොළ පාරක් අයිනේ කසිප්පු පෙරීමේ නිරතව සිටින බවට නවගත්තේගම පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිසිය ඉකුත් 15 දින සවස අදාළ පෙරුම් පොළ වටලා ඇත.
කෙසේ හෝ මේ පිළිබඳව දැනගත් සැකකරු පලා ගොස් ඇත. මෙහිදී කසිප්පු ස්ප‍්‍රීතු බෝතල් 45 ක් හා පෙරීමේ උපකරණ කට්ටලයක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර සැකකරු ඔහුගේ නිවසේ සිටින බවට ද පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලීසිය ඊයේ (16) දින උදෑසනම සැකකරුගේ නිවෙස වටලා ඇත. එහිදී සැකකරු ඔහුගේ නිවසේ ඇඳක් යට සැඟවී හොරට නිදා සිටියදී සොයා ගැනීමට හැකිවූ බවත් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සමග සිද්ධියට අදාළ කසිප්පු තොගය හා ඒවා පෙරීමට යොදාගත් උපකරණ කට්ටලය ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත සහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා සමග පොලිස් සැරයන්වරුන් වන (41440) ධර්මසිරි, (32466) හේරත් සහ පොලිස් කොස්තාපල්වරුන් වන (271232) කැළුම්, (34092) ගුණතිලක මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.

