කරුණාවන්ත හොරෙක්


හිඟු‍රාන - නවරත්න සමරතුංග

නතර කර තිබූ යතුරුපැදියක පිටුපස රෝදය සොරාගත් අ‍යකු, ඒ වෙනුවට තම යතුරුපැදි‍යේ ගෙවී ගොස් තිබූ රෝදය එම ස්ථානයේ දමා යාමේ සිද්ධියක් පල්ලන්ඔය මංසන්ධියේදී දැකගත හැකි විය.

එක්තරා තරුණියක ඉකුත් 27 වැනිදා උදෑසන පල්ලන්ඔය මංසන්ධියට පැමිණියේ, නගරයට යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත්, උදෑසන ඇඟට වැදෙන සිසිල් සුළඟත් සමග ඇති වූ කම්මැලිකම හේතුවෙන් ඇය තම යතුරුපැදිය බෝ ගස අසල නවතා තබා බසයක නැග්ගාය.

රාත්‍රී 7.33ට පමණ එතැනට පැමිණ ඇති තරුණිය, තම යතුරුපැදිය පණ ගන්වාගෙන නිවෙසට යාමට සූදානම් වූ විට ඇයට දැකගන්නට ලැබුණේ, එහි පිටුපස රෝදය නැති බවය.

තවදුරටත් පරීක්ෂා කර බලද්දී ඇයට දැක ගැනීමට ලැබුණේ, අලුත්ම ටයරය සහිත රිම් වළල්ලද සමගම රෝදය සොරකු ගලවා‍ගෙන ගොස් ඇති බවය.

එහෙත්, තවදුරටත් වටපිට බලද්දී ඇයට පෙනුණේ, කට්ට ගෙවුණ පරණ රෝදයක් එතැන ඇති බවය. හොරා රෝදය එතැනම දමා යාමට කාරුණික වී තිබීම විශේෂත්වයක් විය.

යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ දල්වා තිබූ ආරක්ෂිත විදුලි පහන් නිවා දමා මෙම සොරකම සිදු කර ඇති බව ඇයට ඒත්තු යන්නට වැඩි වේලාවක් ගත නොවීය.

තරුණිය ඉඟිනියාගල පොලීසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරගෙන යන බව ඉඟිනියාගල පොලීසිය පවසයි.