(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
හදවතේ සිදුරක් ඇති සිය සහෝදර සේවකයාගේ දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක ණය මුදලක් ලබාගැනීමට උදව් කළ සේවකයින් පිරිසක් එම ණය මුදල අදාළ සේවකයාට ලබා නොදී ඔවුන් අතර බෙදා ගෙන මාසික ණය වාරිකය ඔහුට ගෙවන්නට සැලැස්වූ අපූර පුවතක් දකුණු පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය.

එතරම් දැනුමක් තේරුමක් නැති ඔහු මේ පළාත් පාලන ආයතනයේ කැළි කසළ ඉවත් කිරීමේ සේවයේ යෙදී සිටින්නෙකි. දුප්පත්කමේ පහළටම වැටී ඇති ඔහු දිවි ගෙවූයේ මහත් ආර්ථීක දුෂ්කරතා රැසක් මධ්‍යයේය. එය තවත් තීව්‍රවූයේ දරුවාගේ අසනීපයත් සමගය.
හදවත් රෝගී දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව සහෝදර සේවකයින් පිරිසකට ඔහු පවසන්නේ මේ අතරවාරයේදීය. ආයතනයක වැඩ කරන නිසාත් ඔහුට මාසික වැටුපක් ලැබෙන නිසාත් මේ සහෝදර සේවක පිරිස යම් ආයතනයකින් ණය මුදලක් ලබාගත හැකි බව පවසන්නේ ඔහුගේ ඊට කැමැත්ත ලබාගැනීමේ අරමුණින්ය.
මුදල එම ආයතනයෙන් ලබා ගැනීමට අවශ්‍ය පෝරම පිරවීම තබා විදුලි පණිවුඩ පෝරමයක්වත් පිරවීමට දැනුමක් නොතිබූ ඔහුට මේ ණය මුදල ලබාගැනීම සඳහා අවශ්‍ය පෝරම පිරවූයේ සහෝදර සේවක පිරිස විසින්මය. ඔහුට තිබුණේ ඒවාට සිය අත්සන තැබීම පමණය.
ඒ අනුව ඔහුට අදාළ ණය මුදල අනුමත විය. ණය මුදල ලබාගැනීම සඳහා ඔවුන් සමග ගිය සේවක පිරිස ඔහුගේ අතට ණය මුදල ලබා නොදුන්නේ ඔහු එම මුදල අනවශ්‍ය ලෙස වියදම් කරනවා යයි කියමින්ය. එසේ කියමින් කාලය ගෙවූ මේ පිරිස ඔහුට ණය මුදල දුන්නේ නැත. ඔවුන් එය බෙදා ගත්තේ ඔහු මේ ගැන කාටවත් නොපවසනු ඇතැයි හැඟීමෙන් යුතුවය.
ඔහුගේ මාසික වැටුපෙන් මේ ණය මුදලට අදාළ ණය වාරිකය කපා දැමිණි. සිය පඩිපත අඩුවීම පිළිබඳව සොයා බැලීමෙන් ඔහුට මෙය අනාවරණය වීමත් සමගම ඔහු මේ පිළිබඳව පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාට ද දැනුම් දුන්නේය. මේ අසාධාරණය නොඉවසූ සභාපතිවරයා ඔහුගේ මාසික වැටුපෙන් ණය වාරිකය කැපීම නතර කර දැමුවේය. සභාපතිවරයා මේ මුදල් ගත්තා යයි කියන සේවක පිරිසගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් මේ මුදල් ගත්තේ නැතැයි කීම නිසා මේ අසරණ සේවකයාට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි විය.
අසරණ සේවකයාගේ ණය මුදල බෙදා ගත්තාට කිසිඳු සාක්‍ෂියක් නැති බැවින් මෙය දෙවියන්වත් බලා ගනු ඇතැයි සභාපතිවරයා සැනසුම් සුසුම් හෙලුවේය.

