කපටි කත කඩාවැදී ලොරි රියැදුරුගේ ඌරු මස් සිහිනය බොඳවෙලා


දේවාලයේ සිටි  ඌරා වාහනයේ හැප්පු අයට ශාප කරනවා කියා තරුණ දේව මෑණියන් යැයි හඳුන්වාගත් කාන්තාවක් මිය ගිය ඌරකු බදාගෙන හඩා වැළපෙන විට ඌරා හැපුණු ලොරියේ රියදුරු ලොරිය පණගන්වා වේගයෙන් ධාවනය කිරීමෙන් පසු ඌරා මස් කර විකිණීම සිදු කළ කාන්තාවක් පිළිබඳ අම්බලන්තොටට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය වාර්තා වන ආකාරයට මෙසේය,
දුර ගමන් යන ලොරි රථයක් එළිවෙන පාන්දර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන විට මාර්ගයේ පාර මාරුවෙමින් සිටි ඌරෙක් ලොරි රථ රියදුරා දැක ඇත. ගෝලයාගේ කටටද කෙල උනා ඇති හෙයින් ලොරි රථයෙන්ම ඌරා යටකර මරා දමා ඌරාගේ සිරුර ලොරියේ පටවාගෙන යෑමට ලකලෑස්ති වනු දුටු අසල්වාසී තරුණ කාන්තාවක් එම ස්ථානයට කඩා වැදී මර ළතෝනි දෙන්නට වූවාය.


‘‘අනේ අපොයි මගේ දේවාලයේ ඌරා මරලා දාලා මේ අපරාධය කරපු උන්ට නම් ශාප කරනවා. යන්න දෙන්න දෙන්නේ නෑ. මගේ ඌරාගේ  බෙල්ලේ රත්තරන් ගෙජ්ජියකුත් බැඳලා තිබුණේ. ඒ රත්තරන් ගෙජ්ජත් නැහැ. ඒකත් ගලවාගෙන ’’ කියා මර හඩ නගන විට ලොරි රථයේ රියදුරු හා ගෝලයා බියෙන් බිරාන්ත වී ඌරු මස් කෙසේ වෙතත් රත්තරන් ගෙජ්ජකුත් දෙන්න වෙන බව පවසා හනිකම එම ස්ථානයෙන් ලොරි රථය පන ගන්වා පලා යන්නට විය.


වේගයෙන් පලා යන ලොරි රථය දැක මෙම කාන්තාව කියා සිට ඇත්තේ  එහෙනම් මගේ ගැටයට අහුවුණා මට ඇති දේවාලයක් නැහැ. කියමින් එළිවෙන පාන්දරම මියගිය ඌරාගේ සිරුර ගෙදරට ගෙන ගොස් තවත් අසල් වාසින් කිහිප දෙනකු සමඟ ඌරා  මස්කර අලවි කිරීම සිදු කර එදා දවසේ ගානක් හොයාගත් ආකාරය ගමේ අය කියන්නේ මේ කාන්තාවගේ වැඩ ගැන තවත් බොහෝ කථා ඇති බවයි.

 අම්බලන්තොට සනත් ගමගේ