කනත්තට අරන් ගිය පොල් ගෙඩිය බෑගයකට රිංගලා


මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි

දේහයක් මිහිදන් කිරීමට කනත්තට යද්දී ගෙන ගිය පොල් ගෙඩි දෙක අවසන් කටයුතු කරන පිරිසට බාර නොදී ගෙදර ගෙනියන්නට කටයුතු කළ මල්ශාලා රියැදුරකු පිළිබඳව පසුගියදා ගම්පහ දිසාවේ ගම් පෙදෙසකින් වාර්තා විය.

මියගිය අයකුගේ දේහය සොහොන් බිම කරා ගෙන යන අවස්ථාව ඥාතීන් මල් ශාලාවට පැවරුවේ දේහය කරමතින් ගෙන යන්නට තිබූ දුර සැලකිල්ලට ගනිමිනි. පාංශකූලය දී අවමඟුල් උළෙලේ කටයුතු අවසන් වීමෙන් පසු දේහය සොහොන් බිම කරා ගෙන යාමට මල්ශාලා රියට ඇතුළු කළේය.

මල් වඩම්, මල් කළඹ ආදිය සමග අවසන් කටයුතු කිරීමේදී චාරිත්‍රානුකූල කටයුතු සඳහා අවශ්‍ය පොල් මල පොල් ගෙඩි දෙක හා කුරුම්බා ගෙඩිය ද ඥාතීහු දේහය තැන්පත් කළ රියට බාර දුන්හ.

සොහොන් බිමේදී එහි කටයුතුවල නිරතව සිටි පිරිස දේහය බාරගෙන කරමතින් මිහිදන් කරන ස්ථානය කරා ගෙන යද්දී මල් ශාලා සේවකයා එම රියේ ගෙන ආ භාණ්ඩ බිමට බෑ විගස ආපසු පිටත්ව ගියේ කඩිමුඩියේමය. දේහය වළ දැමීමේ කටයුතු කෙරෙමින් පැවැතියදී පොල් මල හා පොල් ගෙඩි දෙක නොමැති බව දැන ගන්නට ලැබිණි.

ඒ බව සැලවූ වහාම ඥාතින් ඒ ගැන සොයා බැලීමේ යෙදුණත් ඒ වනවිට මල්ශාලා රිය ආපසු ගොස් ඇති බව දැන ගන්නට ලැබිණි. පොල් ගෙඩි දෙකක් යළි සොයා ගන්නට පුළුවන් වුවත් තවත් පොල් මලක් කැපීම මහත් අපරාධයක් බව පැවසූ හිතවතකු වහාම මල් ශාලාව කරා ගමන් කළේ වැරදීමකින් ගෙන යන්නට ඇතැයි සැක කළදේ ගෙන ඒමටය.

මල් ශාලා රිය නවතා තිබිණි. පොල් මල හා කුරුම්බා ගෙඩියද එහි විය. එහෙත් පොල් ගෙඩි දෙක එහි නොවීය. තවදුරටත් සොයා බැලීමේදී පොල් ගෙඩි දෙක රියැදුරාගේ පැදියේ මල්ලක බහා තිබී ආපසු දුන්නේය. අමතකවීමෙන් ගෙන ආ නිසා පොල් ගෙඩි දෙක ගෙදර ගෙන යන්නට ගත්තේ පොල් මිල සැලකිල්ලට ගනිමින් බව රියැදුරා හිතවතකුට කියනු ඇසුණේ ඒ අතරය.