මංගල උත්සවයක මංගල සභාව මෙහෙය වීමේ අවස්ථාව ලබා ගැනීමට සිටි එම පවුලේ ඥාති සහෝදරයකුට එම අවස්ථාව නොලැබීම නිසා සිත්තැවුලට පත්ව පදම ඉක්මවා බීගෙන පිස්සු නැටූ පුවතක් ගැන ගාලු නගරයේ ගමකින් අසන්නට ලැබේ.
හේ ගමේ සමිති සමාගම් රැසකම නිලතල දරයි. ඒවාත් ප්රධාන නිලය එක්කෝ සභාපතිය. නැත්නම් ලේකම්ය. එනිසා ඔහුට මංගල අවමංගල උත්සවයන්හි කතා පැවැත්වීමේ අවස්ථාව ද නිතැතින්ම හිමිව තිබුණි.
පසුගියදා ඔහුගේ සහෝදරයාගේ එකම දියණියගේ විවාහ මංගල උත්සවයෙ දී තිබුණි. ඒ දකුණේ සංචාරක පුරවරයේ ප්රසිද්ධ හෝටලයක ය. මනාලයා පැමිණීමෙන් පසු මංගල උත්සවය ආරම්භ විය. පෝරුවේ චාරිත්ර වලින් ආරම්භ වූ උත්සවයට දහවල් වනවිට ඉස්තරම් සැරබීම ද එක්වීම නිසා එය රස ගුලාවක්ම විය.
මංගල සභාව මෙහෙවීමේ වගකීම බාර ගැනීමට සිටි අපේ කතානායකයා ගාණට ෂොට් දෙකක් දාගෙන වැඩිපුර බයිට් කමින් කල් මැරුවේ සවසට පැවරෙන භාරධූර වගකීම නිසාය. කාලවේලාව ඉක්මවා යමින් තිබිය දී ආරාධිතයන්ට කෑම මේසය ද විවෘත විය. එහෙත් තවමත් තම සහෝදරයා මංගල සභාවේ වගකීම පැවරීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔහු සිටියේ කනස්සල්ලෙනි.
පසුගිය දිනවල හැමදේම තමාගෙන් විමසමින් කටයුතු කළ සහෝදරයා අද දවස තුළ වරකට දෙකකට වඩා ඔහුට මුණ ගැසී තිබුණේ ද නැත.
බැරිම තැන ඔහු නෑනා ලඟට කිට්ටු වී මංගල සභාව පවත්වන්නේ කීයටදැයි විමසීය.‘‘කොලේ ඇත්තේ දූ ලඟ. දූගෙන් තමයි අහන්න ඕන.” නෑනා දුන්නේ එවැනි පිළිතුරකි. ‘‘හරි මං එයාගෙන් අහගන්නම්” කියමින් ප්රධාන ශාලාවට පිවිස මනමාලි සොයා ගියේය. ඇය හමුවී විමසීමේ දී පැවසුවේ ‘‘කොලේ ඇත්තේ අම්මා ළඟ” කියාය.
‘‘හරි කමක් නෑ. උන්ට හොඳනම් මටත් හොඳයි” සිතමින් ඔහු මිටින් හළ කුරුල්ලෙකු සේ ඉහළ මහලේ තිබෙන ‘‘බාර්” එකට රිංගා ළඟ ළඟම දෙක තුනක් නවා ගත්තේ ය. ඉහළ මාලයේ සාදය නිමවන විට බඹර පදම් වී සිටි ඔහු පාතමාලයට ආවේ තරුණයන් දෙදෙනකුගේ කරේ එල්ලීය. පහළ මාලයේ සංගීතයට අනුව පාද තබන පිරිස අතරට වැදුණු ඔහු මාරාවේශ වූවකු මෙන් අමුතුම නැටුමක් පටන් ගත්තේ ය. එය උඩරට පහත රට සබරගමු කාවඩි හා මිශ්ර ඩිස්කෝ නැටුමක් විය. මුළු මංගල සාදයම ඔහුගේ හැසිරීමෙන් ප්රමෝදයට හා පුදුමයට පත්ව සිටියේය. සමාජයේ පිළිගැනීමක් ඇති මහත්මයකු වුවද බේබදුකම නිසා පත්වෙන තත්වය ඔහු සැමට පෙන්වා දෙමින් සිටියේය.
අවසානයේ ඔහුගේ පුත්රයා විසින් දිවා ආහාරයවත් නොගෙන සිටි ඔහුව ත්රීරෝද රථයක දමාගෙන නිවසට රැගෙන විත් ඇත. පසුදා ඔහුගේ බිරිඳ දියණිය විසින් පෙරදා කළ අපූරු රංගනය පිළිබඳ ඔහුට සිහිපත් කළේලු. එදා සිට මේ වනතෙක්ම ඔහු නිවසටම වී සිටින බවයි තතු දත්තෝ පවසන්නේ.
පෝද්දල සරත් ආනන්ද ගමගේ