(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත්වී අගතියට පත් වූ කාන්තාවකට වන්දි ලෙස රුපියල් 5,000 ක මුදලක් මාරු කාසිවලින් ගෙවීම නිසා එම වන්දි මුදල බාර ගැනීම එම කාන්තාව ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා විය.

තමන්ට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් කාන්තාවක විසින් වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පහරදීම සිදු කළ පුද්ගලයා පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමේදී පහරදුන් පුද්ගලයා තමන් කළ වරද පිළිගෙන කාන්තාවගෙන් සමාව ඉල්ලා සිදුවීම සමථයකට පත්ව තිබේ.
තමන්ට වූ හානිය සම්බන්ධයෙන් රුපියල් 5000 ක වන්දියක් ද අවශ්‍ය බව කාන්තාව පැවසීම හේතුවෙන් පහරදීමට සම්බන්ධ පුද්ගලයා එම වන්දි මුදල ඉදිරි දිනයකදී ලබාදෙන බව පවසා පොලිසියෙන් පිටව ගොස් තිබේ.
පොලිසිය විසින් ලබාදුන් දිනයේ දෙපිරිසම පොලිසියට පැමිණ අදාළ කාන්තාවට වන්දි ලෙස රුපියලේ, රුපියල් දෙක හා රුපියල් 5 ඇතුළත් රුපියල් 5000 ක මුදල මාරු කාසි ලෙස ලබාදී ඇති නමුත් කාන්තාව එම මුදල බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් අදාළ පුද්ගලයා වෙනත් මුදලක් ලබාදීමට අකමැතිවීමත් නිසා වන්දි මුදල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙමින් තිබියදී එම ස්ථානයට වෙනත් කරුණක් වෙනුවෙන් පැමිණ සිටි මහත්මයකු මැදිහත් වී මාරු කාසි ලබාගෙන නෝට්ටු ලබාදීම නිසා ගැටලුව විසඳුනාලු.

