කතකට ඇවිදින්න යන්න කතාකර බසයේදී ගුටිකයි


බසයක ගමන් කරමින් සිටියදී කාන්තාවකට හේත්තුවී ඇයට තමා සමග පිටකොටුවේ ඇවිදීමට එන්නැයි කී මැදිවියේ පුද්ගලයෙකු තරුණයන් දෙදෙනෙකුගෙන් හොඳ හැටි ගුටි කෑමේ සිද්ධියක් ඉකුත්දා පිටකොටුවේ බස් රථයකදී දකින්නට ලැබිණි.

සරමක් හා කමිසයකින් සැරසී බස් රථයේ ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටි මැදිවියේ පුද්ගලයාගේ දකුණු පසින් මැදිවියේ කාන්තාවක වාඩිවී සිටියාය. ඔහු වරින් වර ඇය සමග බලෙන්ම වාගේ කතා බහ කරමින් ඇයගේ සිරුරටද හේත්තු වන්නට පටන් ගත්තේය. එය කාන්තාවට නුරුස්සන දෙයක් බවට පත්වී තිබුණු බව ඇයගේ හැසිරීමෙන් දකින්නට විය.

බසය පිටකොටුවට ළඟාවත්ම ඔයා යන්නේ කොහාටදැයි ඔහු ඇයගෙන් විමසූ විට බඩු වගයක් ගන්න පිටකොටුවට යනවා යැයි ඇය පැවසුවාය. මමත් ඉන්නේ පිටකොටුවේ මට කොටුවත් එකයි පිටකොටුවත් එකයි. ඕනෑම කඩයක් අඳුනනවා තනියම යන්න එපා. මේවගේ ඉන්න එවුන් එච්චර හොඳ නැහැ. අද ගෑනියකට තනියම ඇවිදින්න පුළුවන්ද.

බය නැතුව එන්න මාත් එක්ක. ඕනෑම තැනකට යමු මම උදවු කරන්නම්කෝ, යැයි කියමින් ඔහු ඇයට තවත් ළංවිය. මෙතෙක් ඉවසාගෙන සිටි ඇය වහා නැගිට මේ මිනිහා මට ඉන්න දෙන්නේ නැහැ. අනෙකුත් මගීන්ට ඇසෙන සේ පැවසුවාය.

වහා එතැනට පැමිණි තරුණයන් දෙදෙනෙකුට කාන්තාව තමනට මෙතෙක් වේලා සිදුවූ හිරිහැර පැවැසුවාය. තරුණයන් දෙදෙනා කාන්තාවට හිරිහැර කළ පුද්ගලයාට දෝෂාරෝපණ කරද්දී ඔහුද මහා හඬින් කෑ ගසමින් මම ඒ ගෑනිට මොකුත් කළේ නැහැ ඕයි. කියමින් ගෝරනාඩු කරන්නට විය.

තරුණයෝද ඔහුට හොඳ පහර කීපයක් එල්ල කළහ. එයිනුත් නොසැලූණු ඔහු හරි මම බලා ගන්නම් මගෙත් කොල්ලෙක් හමුදාවේ ඉන්නේ යයි දොඩවමින් හිස්ව තිබූ වෙනත් අසුනකින් වාඩිවී ගියේය.