කතකගේ පෙම පතා හරකකුගේ වෙස් අරන්


ඇය, එම ගමේ කුඩා නිවෙසක් තනාගෙන ගොවිතැනක් කරගෙන තම දරු දෙදෙනා ද සමග නම්බුකාර ලෙස ජීවත් වූ වැන්දඹු කාන්තාවකි. ඔහු මතට මෙන්ම සල්ලාලකමට ද ලොල් වූ අසල ගමක මැදිවියේ පුද්ගලයෙකි. විවාහක තිදරු පියෙකි. 


පසුගිය දිනෙක මහමගදී මුණ ගැසුණු ඇයගෙන් හෙතෙම ආදරය ඉල්ලුවේ තනිකඩව සිටින ඇයට පිහිටක් වන බව ද පවසමිනි. සිනහවකින් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ ඇය ඔහු මග හැර ගියේ තමා ගතකරන නම්බුකාර ජීවිතය එම පිහිටට වඩා වටිනා බව ඔහුට පවසමිනි.


පිළිතුරින් පසුබට නොවූ හෙතෙම එදින රාත්‍රියේම ඇය හමුවීමට අපූරු උපායක් යෙදවූවේය.


මැදියම් රැය ආසන්න වෙද්දී ඔහු ගවයින්ගේ කර බඳින සොකඩයක් (සොකඩය යනු ගවයන් යන එන තැන් දැන ගැනීම සඳහා ලීයෙන් තනා හරකුන්ගේ කර බඳින උපකරණයකි.) සොලවමින් ගේ වටා ගමන් කළේ ඇයගේ වත්තට හරක් රංචුවක් පැමිණ ඇති බව ඇයට ඒත්තු ගන්වමිනි.


මොහොතක් ගතවෙද්දී ඔහුගේ උපාය ටක්කෙටම හරි ගියේය.


“අදත් මේ හරක් කොටි ඇවිල්ලා. මගේ මඤ්ඤොක්කා ගස් ටික ඉවරයි.” කියමින් කුප්පි ලාම්පුවක් ද රැගෙන ඇය නිවෙසින් එළියට පැන්නේ හරක් රංචුව පන්නා දැමීමේ අදහසිනි.


එහෙත් සොකඩය සොලවමින් සිටි දහවල් හමුවූ ගමේ අයියා දකිද්දී ඇයට කාරණාව තේරුම් ගියාය. ඇය කරුවලේම කෑ ගසමින් නිවෙසට පැන දොර වසා ගත්තේ සිදුවන්නට ගිය අවමානයකින් ජීවිතය බේරා ගනිමිනි.


පසුදින සිද්ධිය කටින් කට පැතිර යද්දී ඔහු ගමින් අතුරුදන් වී තිබිණි. දැන් අගනුවර ප්‍රදේශයේ වැඩපළක කොන්ක්‍රීට් අනන බව ගම්මු පවසති.

(වියලුව වාර්තාකරු)