කතකගේ පින්තූරයට බිරිය වල්ගේ පාගාගෙන


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කාර්යාලයීය මිතුරියකගේ ජන්ම දිනය සැමරීමට ගොස් සිය විවාහ දිවිය අනූනව‍යෙන් බේරාගත් කාර්යාල සේවකයකු ගැන දකුණේ නගරයකින් අසන්නට ලැබෙයි.
රැකියාවක් නොකරන මේ කත සැමියා සැක කිරීමට පටන් ගත්තේ ඔහු හා අතිනත ගත් දා පටන්මය. සැක කිරීමේ රෝගය එන්න එන්නම වැඩි වූවා මිස අඩුවක් නොවිණි.‍ බොහෝ භාර්යාවන්ට මෙන්ම සැමියා සැක කිරීමේ රෝගය නිසා ඇය මහත්සේ පීඩා වින්දාය. සැකයෙන් නිතරම බැලූ ඇය සැමියාගෙන් සැක කටයුතු යමක් අල්ලා ගැනීමට නිරන්තර උත්සාහයක ද යෙදුණාය. මේ නිසාම දෙන්නා දෙමහල්ලන් අතර පොඩි පොඩි ගැටුම් ඇති නොවුණාම ද නොවේ.
ඇය සමග පාරේ ගියත් දන්නා හඳුනන කතක් සිනාසුණත් ඇය සැමියා සැක කළාය. ඒ ඔස්සේ සණ්ඩු සරුවල් කර ගත්තාය. ඊට පාර ද නිවෙස ද කියා ඇයට අදාළම නැත. ඇය ඉදිරිපිට දී දන්නා හඳුනන කතක් ඇඟට තට්ටුවක් දා ඔහු සමග කතා කළහොත් මේ දෙදෙනා මාසයක් දෙකක් කතා නොකර සිටීමට අවැසි කටයුතු සම්පාදනය කර ගනුයේ ඉබේට මෙන්ය.


එදා පස්වරුවේ වැඩ ඇරී නිවෙසට පැමිණි ඔහු පාරට ගියේ ව්‍යායාමයටත් එක්ක ඇවිදීමටයි. ඒ අස්සේ සැමියාගෙන් සැක කටයුතු යමක් සොය සොයා සැමියාගේ කාර්යාල බෑගයත් මුදල් පසුම්බියත් සෝදිසි කිරීමේ මෙහෙයුමකට ලක් කරමින් සිටියාය. සෝදිසි මෙහෙයුමේ දී සැමියාගේ මුදල් පසුම්බියේ තිබූ සැක කටයුතු යමක් දැක ඇය කලබල වූවාය. උන්හිටි තැන පමණක් නොව කරන්නේ මොකක්ද කියා අමතකවූ ඇය සිය දියණියට හා පුතුට මරලතෝනි දෙමින් කතා කළාය.
‘’බලපල්ලා උඹලාගේ තාත්තාගේ තරම, මම හිතුවා මේ ටික දවසක ඉඳං මොකද මේ වැඩි කතාවක් නැත්තේ කියලා. මේක තමයි එහෙනම්....” කියමින් කඳුළු වගුරවමින් ඇය සිය දරු දෙදෙනාට ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ රූමත් ළඳකගේ ඡායාරූපයක් පෙන්වමින් නිවෙස එක දෙක කළාය.


‘මම තවත් මේ මිනිහත් එක්ක ඉන්නේ නැහැ. මම යනවා ගෙදර. ඔය දෙන්නත් එක්ක යනවා නම් එන්න යන්න..... කියමින් ඈ කෑමොර දුන්නේ නිවසේ වහලේ සෙවිලි තහඩු හෙල්ලෙන ලෙසය. 
මේ අස්සේ ඇවිදින්න ගිය සැමියා නිවෙසට ඇතුළු වූයේ මොකද මේ සද්දේ.... පාරටත් ඇහෙනවා යැයි කියමිනි.  “මොකක්ද තමයි මේ කවුද...?” කියමින් ඇය ඔහුගේ මුදල් පසුම්බියෙන් සොයා ගන්නා ලද කාන්තා ඡායාරූපය පෙන්වූයේ මහ ගෙදරට යාමට සූදානම් කළ ඇඳුම් බෑගය ද අතැතිවය.
 “අයියෝ ඔය මගේ ඔෆිස් එකේ  එක්කෙනෙක්නේ... හෙට එයාගේ උපන් දිනය. අපි එයාට දෙන්නෙ එයාගේ පොටෝ එක.. ඒකෙ සිහිවටනයක් හදන්නයි ඕක ‍ගෙනාවේ. අපේ ගෙවල් ළඟ ස්ටුඩියෝවක් තියෙන නිසයි යාළුවන් මට ඒක බාර දුන්නේ යැයි ඔහු කී විට දරු දෙදෙනා බඩ අල්ලන් හිනා වූයේ මහ ගෙදරට යාමට අම්මා අත දරා සිටි ඇඳුම් බෑගය ද උදුරා ගෙන සාලයේ පුටු සැටියට විසි කරමිනි.