කඩෙන් බඩු ගන්න ඇවිත් ගෝවා ගෙඩියකුත් සොරාගෙන


 ගල්වළක වැඩ කරන කම්කරුවන් දෙදෙනෙක් උයන පිහන දේ ගන්නට ගමේ කඩයකට පැමිණියහ.
හාල් කිලෝවක් සීනි දෙසිය පනහක් පරිප්පු සීයක් මිලට ගත් මොවුන් දෙදෙනා කඩයෙන් පිටතට ආවේ ඉක්මනින් ගල්වළට යා ගන්නටය.
 මොවුන්ගෙන් එක් අයකුගේ සාක්කුවක් ඉදිමී පිම්බී තිබෙණු කඬේ බංකුවක වාඩිවී සිටියකු දුටුවේය.
ඔහු මුදලාලිට කීවේ මොහුගේ සාක්කුව බර වැඩි බවකි.
මුදලාලි ද එය දැක ”හා ළමයො ඔය සාක්කුවට පත්තෑයෙක් රිංගුව හපා කයි අදින්න අදින්න” කීය.
 අන්දුන් කුන්දුන් වී ඔහු සාක්කුව ඇද්දේය. සාක්කුවේ දමාගත් ග‍්‍රෑම් පන්සියයක් පමණ බරැති ගෝවා ගෙඩියක් ද එවිට එළියට පැන්නේය.
 ගෝවා ගෙඩියට සල්ලි දුන්නද? මුදලාලිගේ පැනයට දෙදෙනාම නිරුත්තර විය. ගෝවා ගෙඩියට මුදල් ගෙවූ ඔවුහු යළි කිසි දිනක කඩයට නොඑන්නට පිටව ගියහ.