කට්ටඬියෝ කෙළින්නෙම පච මට වැහුණු යකෙක් නෑ මැරුණේ මොළේ සැරව හින්දා


 

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
මගේ නම නිමාලිකා, මම මගේ සැමියාත් එක්ක පදිංචිවෙලා හිටියේ වතු ආශ්‍රිත ගම්මානයක. සැමියායි මමයි දෙන්නාම වත්තේ වැඩ කළේ. වත්තේ ඉදිකර ගත් පැල්පතක තමයි අපි දෙන්නා පදිංචිවෙලා හිටියේ. අපි දෙන්නා හරිම සතුටෙන් තමයි ජීවිතය ගත කළේ. ටික දවසක් යන විට අපේ පවුලට තුන්වැන්නකුත් එකතුවෙන්න හිටියා. මේ ගැන මාගේ මහත්තයාට කියපුවාම ගොඩක්  සතුටු වුණා. මට අවශ්‍ය කෑම බීම වර්ග හැම දෙයක්ම  ගෙනැවිත් දුන්නා. මට දරුවා ලැබෙන්න ඉන්න දවස්වල උණ හැදුණා. මේ අතරේ සැමියා මාව මහමෝදර රෝහලට රැගෙන ගියා. රෝහලේ දී මට කොලු පැටියෙකු  ලැබුණා.


කොහොම හරි කොලු පැටියා ලැබුණාට පසු මට සිහිකල්පනාව නැතිව ගියා. මට මතකයි මම සිහිවිකල්වී කෑ ගසනවා. මට රෝහලේ වෛද්‍යවරු ප්‍රතිකාර කළා. මට ඒ කරපු ප්‍රතිකාර වලින් යම්තාක් දුරට සුව වුණා. නමුත් සම්පූර්ණයෙන්ම සුව අතට පත්වෙලා තිබුණේ නැහැ. මගේ සැමියා මෙන්ම ඥාතීන් හිතුවේ මට මළ ගිය ඥාතියකු වැහිලා කියලා. ඒ අය කැමැත්තෙන්ම මා රෝහලින් නිදහස් කරගෙන රැගෙන ගියා. ඒ අය මට ශාන්තිකර්මයක් මෙන්ම බලි තොවිලයක් ද කළා. මට වැහිලා ඉන්නේ මගේ අම්මා කියලා ශාන්තිකර්මය කරපු ගුරුන්නාන්සේ කීවා. පස්සේ සැමියා නිවස ඉදිරිපිට දේවාලයක් ඉදි කළා. පස්සේ මම ආරූඪයෙන් සාස්තර කියන්නට පටන් ගත්තා. මගෙන් සාස්තර අහන්න විශාල පිරිසක් ආවා.


අපේ නිවස අසල පදිංචිවෙලා හිටියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ දැනුමක් ඇති කෙනෙක්. ඔහු මට සාස්තර කියනවාට මට නොයෙකුත් දේවල් කියලා තිබුණා. එක් දිනක් ඔහුත් මගේ දේවාලයට පැමිණියා සාස්තරයක් අහන්න. මම ඔහුට ආරූඪයෙන් සාස්තර කියමින් ඉන්න විට මා සිහිසුන්ව බිම ඇද වැටුණා. මගේ සැමියා ඇතුර්‍ළු පවුලේ අය මගේ මුහුණට වතුර ගැසුවා. මට සිහිය එවි කියලා ඒ අය හිතුවා. නමුත් ඒ වනවිට මම මගේ ලෝකයට ගිහින් තිබුණා. මගේ පවුලේ අය හිතුවේ මගෙන් සාස්තර අහන්න ආපු පුද්ගලයා මට ගුරුකමක් කළා කියලා. 


ඒ නිසා මා මියගියා කියලා තමයි හිතුවේ. නමුත් ඥාතීන් හිතපු විදියට නෙවෙයි මගේ මරණය සිදුවෙලා තිබුණේ. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න මගේ මළ සිරුර කරාපිටිය රෝහලේ මිනි කාමරයට ගෙනවිත් තිබුණා. ඒ පරීක්ෂණය කළේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහත්තයා. ඔහු මගේ රෝග ඉතිහාසය පරීක්ෂා කළා. මට දරු ප්‍රසූතියේ දී උණ රෝගය වැල ඳී ඇති බව පෙනී ගියා..


ඉන් පසුව අධිකරණ වෛද්‍යවරයා විසින් මගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පරීක්ෂා කළා. නමුත් එම ඉන්ද්‍රියන්වල කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. පස්සේ අධිකරණ වෛද්‍යවරයා මගේ මොළය විවෘත කොට පරීක්ෂා කළා. අන්න එතකොට තමයි මා මිය ගියපු නියම හේතුව දැන ගන්න ලැබුණේ. මගේ මොළය සැරව වලින් පිරිලා තිබුණා. රුධිර නාළ ඉදිමිලා තිබුණා. ඇත්තටම මා මියගොස් තිබුණේ මෙනින්ජයිටිස් රෝගය වැලැඳමෙන්, විෂබීජයක් මොළයට යාම නිසා. එම රෝගී තත්ත්වය උත්සන්න වෙලා එවැනි අවස්ථාවල දී සිහිවිකල්වෙනව. කියලා අධිකරණ වෛද්‍යවරයා කීවා. නමුත් පවුලේ ඥාතීන් හිතුවේ මට ආරූඪයක් වැහිලා කියලා, නිමාලිකා මිනී කාමරයේ සිට කීවාය.
(මෙහි එන නම්ගම් මන:කල්පිතයි)


(රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි)