ගම්පහ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කට්ටඩියෙකි. ඔහු එම ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග දුරකතනයෙන් ඇයිහොඳයියක් ගොඩනඟාගෙන තිබුණි.
මෙම තරුණිය සහ කට්ටඩියා අතර පවත්වාගෙන යන සම්බන්ධතාව පිළිබඳ ඇගේ මවුපියන්ට දැන ගැනීමට ලැබුණි. මවුපියෝ මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කළහ. පැමිණිල්ලට අනුව දෙපාර්ශවය කැඳවා කරුණු කාරණා පැහැදිලි කර දී සිද්ධිය සමථයකට පත් කර තිබුණි.
එය සමථයකට පත් කළ ද දෙදෙනා අතර සම්බන්ධතාව නතර නොකර දිගින් දිගටම පවත්වාගෙන ගොස් තිබේ.
කට්ටඩියා මාසයකට වරක් තරුණිය මුණගැසීමට මඟට ගොස් ඇය මුණගැසී ආපසු යන්නේය. මේ පිළිබඳ දැනගත් ඇගේ මව ඉකුත් දිනෙක සිය දියණියට කට්ටඩියා බැන තර්ජනය කරන බව පවසා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
පැමිණිල්ලට අනුව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් තරුණියත් ඇගේ මවත් විත්ති පාර්ශවය වෙනුවෙන් කට්ටඩියාත් ඔහුගේ 40 හැවිරිදි වැඩිමහල් සහෝදරියත් පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කැඳවා තිබුණි.
එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණියගේ මව පොලිසිය හමුවේ කියා සිටියේ තම දියණිය කෙසේ හෝ කට්ටඩියාගෙන් බේරා දෙන ලෙසය. එහිදී තරුණිය පොලිසිය හමුවේ කට්ටඩියාට විරුද්ධව කිසිවක් ප්‍රකාශ කර නොතිබුණි. කට්ටඩියා කියා ඇත්තේ තරුණියට මවුපියන් නොසලකන බවත් ඇය කෙසේ හෝ තමන් ඉදිරියේදී විවාහ කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත් සම්බන්ධතාව නතර නොකරන බවත්ය. පසුව තරුණියගේ මව කියා ඇත්තේ දෙදෙනාගේ වයස පරතරය නොගැලපෙන බවත් තමන් ඊට තදින්ම විරුද්ධ බවත්ය.
එහිදී කට්ටඩියාගේ වැඩිමහල් සහෝදරිය කියා ඇත්තේ වයස අවුරුදු 75 ක ජනප්‍රිය ගායකයෙක් පසුගිය කාලයේ 38 හැවිරිදි තරුණියක් විවාහ කර ගත් බවත් මල්ලීට මේ තරුණිය ඉතාමත් ගැලපෙන බවත්ය.
පසුව දිගින් දිගටම දෙපාර්ශවයට කරුණු කාරණා පැහැදිලි කර දුන් පොලිසිය පැමිණිල්ල සමථයකට පත් කළේය.