කට මැත දොඩන බිරියට සැමියාගෙන් අමතක නොවන පාඩමක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිරිය තොරතෝංචියක් නොමැතිව නිතර කියවීම ඉවසා සිටීමට බැරි තැන ඇයගේ සිරුර සපා කෑ බව කියන සැමියා හෙට්ටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.


සැමියා සපා කෑම නිසා ඇති වූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීමට බිරිය රෝහල්ගතව තිබෙන බව හෙට්ටිපොළ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.


මෙම කාන්තාවගේ සිරුර පුරාම සපා කෑම නිසා ඇති වූ තුවාල දක්නට ඇතැයි පොලිසිය කියයි.


මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වී ඇත්තේ මීට වසරකට පමණ පෙරය.


ඕනෑ දෙයටත් එපා දෙයටත් හැම එකටම සිය බිරිය තොරතෝංචියක් නොමැතිව කියවන බවත් ඇයට මේ ගැන අවස්ථා ගණනාවකදීම අවවාද කළ බවත් සැකකාර සැමියා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව කියති.


එහෙත් එම අවවාද නොතකා බිරිය කියවන බවත් සිද්ධිය වූ දිනයේදී එසේ කියවීමට පටන්ගත් නිසා එය ඉවසා ගැනීමට බැරිව තමා ඇයගේ සිරුර සපා කෑ බවත් සැකකරු පැවැසූ බව එම පොලිස් නිලධාරියා කීය.


මේ සම්බන්ධයෙන් එම බිරිඳ කළ පැමිණිල්ලක් මත පරීක්‍ෂණ පවත්වා ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්‍ෂිකා හේරත් මහත්මිය මේ  සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීය.