අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
කලකින් මුණගැසුණු මිතුරන් දෙදෙනකු මුහුදු හුළං වැදෙමින් හිරි පොදත් සමග සැන්දෑවක අවන්හලකට ගොඩ වැදුණේ මේ දෙදෙනා ආ වාහනය ද කිසිවකුට නොපෙනෙන ලෙස ගාල්කරමිනි.
මේසයක වාඩි වූ පසු සේවකයා ආහාර වට්ටෝරු පොත පිළිගැන්වීමෙන් අනතුරුව රැගෙන ආ මධුවිත බෝතලයට ගැලපෙන කටගැස්මක් සහ මිශ්‍ර කිරීමට බීම ද නම් කළහ.
ඒ අතර මිතුරන් දෙදෙනා ආගිය තොරතුරු කතා කර විනාඩි විස්සක් විසිපහක් ගත කරන අතරතුර කලින් ඇණවුම් කරන ලද සූකර කටගැස්ම රැගෙන ආපනශාලා සේවකයා සර්ලට තව මොනවද අවශ්‍ය යැයි විමසුවේ ලෙන්ගතුවය. එහිදී දෙහි පෙති කීපයක අවශ්‍යතාවද සපුරාගෙන චියර්ස් කියා වැඩේ ආරම්භ කළහ.
මේ දෙපළට කටගැස්ම සැර වැඩිවීමෙන් තරු විසිවී හායි හූයි කියැවිණි. කෙසේ වෙතත් කට ගැස්ම දැවිල්ල වුණත් නැතත් මුදල් ගෙවන එක අනිවාර්යයෙන් සිදු කළ යුතු බව දෙදෙනාම වටහා ගත්හ. වැඩේ අවසන් කිරීමට තීරණය කර ඉන් එක් මිතුරෙක් අපි පිපිඤ්ඤා ප්ලේට් එකක් ඕඩර් කරමු යැයි අනිත් මිතුරාට යෝජනා කළේය.
යෝජනාව අනුමත විය. සේවකයා අමතා අවශ්‍යතාව පැවසීය. එහෙත් පෙර ඇණවුම් කර ආහාර වට්ටෝරුවේ මිල ගණන් දැනගෙන තිබූ නමුත් පිපිඤ්ඤා පෙති කැපූ පිගානේ මිල ගණන විමසා නොමැත. ඒ එයින් කරන්නේ පිපිඤ්ඤා ගෙඩියක් පෙති කපා ලුණු ගම්මිරිස් දැමීම පමණක්නේ යන සිතුවිල්ලෙනි. දෙදෙනා එහෙම සිතා කටගැස්මේ තිබූ දැවිල්ල මගහැර ගැනීමට ලැබීම ගැන සතුටට පත්ව මුහුදු වෙරළ අසල අවන්හලෙන් යෑමට මත්තෙන් සේවකයා ලවා බිල ගෙන්වා ගත්හ.
එහිදී පෙර මිල ගණන් අනුව ඇණවුම් බීම වර්ග හා කටගැස්මට අමතර තවත් රුපියල් 770 ක් ඊට එකතු වී තිබීමෙන් දෙදෙනාම වික්ෂිප්ත වූහ. ඒ ගැන සේවකයාගෙන් විමසූ විට ඔහු කියා ඇත්තේ මේ ගාන පිපිඤ්ඤා පෙති පිගානට බවය. සේවා ගාස්තුව ද ඇතුළත්ව බව පැවසීමෙන් දෙදෙනාට දෙවැනි වරටත් තරු විසි වී පිපිඤ්ඤා පිගානේ මුදලද ඇතුළුව මුළු මිලම ගෙවා එතනින් නික්ම ගියේ ආයෙත් මේ අසලින් යද්දී ඒ පැත්තවත් නොබලන්න සිතාගෙනය.
මේ දිනවල පිපිඤ්ඤා ඇතුළු එළවළු විකුණාගැනීමට බැරිව ගොවීන් හූල්ලන කතාවක් මැදදී මුහුදු සුළං වැදෙමින් හීනියට සෙට් වෙන්න ආ මේ දෙන්නා කටින්ම කට දැවිල්ලෙන් වෙච්ච දේ කියා තවත් මිතුරන් පිරිසකට පවසා තිබේ.