ඔහු තරුණ සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ මව්පියෝ මඟුල් කපුවෙකු මාර්ගයෙන් තම පුතාට සුදුසු මනාලියක් සෙවූහ.
දිනක් මඟුල් කපුවා පැමිණියේ තරුණියන් කිහිප දෙනකුගේ ඡායාරූප ද රැගෙනය. සෑම දෙනාම උසස් රැකියාවල නියුතු තරුණියන්ය. තරුණයාගේ මව්පියන්ගේ හිත ඇඳුණේ එක් ඡායාරූපයක සිටි රූමත් තරුණියක් වෙතය. ඇය වෛද්‍යවරියකි. තරුණිය බැලීමට දිනයක් නියම කරගත් පසු තරුණයා සහ මව්පියන් මඟුල් කපුවා සමඟ තරුණියගේ නිවසට ගියේ තරුණයාගේ නවීන මෝටර්රථයෙනි. සියලු සංග්‍රහ භුක්ති විඳීමෙන් පසු තරුණයාට සහ තරුණියට රිසි සේ කතා බස් කිරීමට ඉඩ දී දෙදෙනාගේ මාපියන් ඇතුළු නෑදැයෝ මිදුලට ගියහ.
දෙදෙනා කතා බස් කිරීමේදී ඔවුන්ගේ අදහස එකිනෙකාට ගැළපුනි. මේ අතර තරුණයාගේ මව තරුණියගේ පාර්ශවය අමතා, “දෙන්නා හොඳට ගැළපෙනවා, කොහොමද දෑවැද්ද එහෙම” යනුවෙන් විමසූවාය. තරුණියගේ පියාට යකා නැග්ගේ එවිටය. “මෙච්චර හොඳ රක්ෂාවක් කරන දුවගෙන් තව මොන දෑවැද්දක්ද? ආපු අතක් බලාගෙන යන එකයි තියෙන්නේ” යනුවෙන් පැවසූවේ ශබ්ද නගමිනි. ශබ්දය ඇසී එතනට පැමිණි තරුණයා සහ තරුණිය විමතියට පත් වෙද්දී “අපි යමු පුතා” යනුවෙන් පැවසූ තරුණයාගේ මව වාහනයට ගොඩ වූවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්

