රාජකාරියට නිසි පරිදි වාර්තා නොකිරීමේ හේතු විමසීමේදී මාතලේ දිසාවේ උතුරු කොනේ රජයේ කාර්යාලයක මුරකරුවකු පැවසූ අරුම පුදුම කතාවකින් ආයතන ප්‍රධානියා මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය අන්දුන්කුන්දුන්වීමේ පුවතක් ඉකුත්දා වාර්තා විය. මුරකරු සති අන්ත දිනයන්හි සේවයට වාර්තා කිරීම නිසියාකාරව සිදු නොකෙරෙන බව ආයතන ප්‍රධානියාට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි.
ඔහු මේ ගැන වඩාත් විමසිලිමත් විය. සති අන්තයන්හි දින ගණනාවක් වරින් වර කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කළ ප්‍රධානියාට මුරකරු රාජකාරිය සඳහා නොපැමිණෙන බව සැක හැර දැන ගැනීමට ලැබුණි. සේවා දිනයක උදය කාලයේ මුරකරු ඇතුළු කාර්ය මණ්ඩලය කැඳවූ ආයතන ප්‍රධානියා රජයේ සේවයට නියමිත වේලාවට පැමිධෑම හා පිටවීම රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කිරීම ආදී කරුණු ගණනාවක් ගැන ඔවුන් දැනුම්වත් කරන්නට විය. මේ අතර මුරකරු ඉකුත් දිනයන්හි නියමිත පරිදි රාජකාරියට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා ඔහුගෙන් නිදහසට කරුණු විමසීය. “සර් මට රාජකාරියට වෙලාවට එන්න ලැබෙන්නෙ නැත්තෙ ගමනාගමන අපහසුකම් නිසයි. ගමේ ඉඳන් එන බස් එකෙන් තමයි වැඩට එන්නෙ.
ඒකෙ හැමතැනම එක එක කෑලි පටවලා. ගෝවා කෑලි, බටු කෑලි, වට්ටක්කා කෑලි, ඒ මදිවට හාල් කෑලිත් පටවලා. ඒ නිසා බස් එකේ ඉඩ ඇහිරිලා. ඒ නිසයි වැඩට වෙලාවට එන්න විදියක් නැත්තෙ. එහෙම නැතිව මගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි.” මුරකරුගේ කතාව ආයතන ප්‍රධානියාට මෙන්ම සෙසු අයට ද ප්‍රහේලිකාවක් වූයෙන් එකිනෙකා එකිනෙකාගේ මුහුණු බලාගත්හ. මුරකරු බේරා ගැනීමට කාර්ය මණ්ඩලයේ සිටි ඔහුගේ සගයෙක් ඉදිරිපත් විය. “සර් මෙයා මේ රස්සාවට එන්න කලින් අවුරුදු ගණනාවක් වැඩ කළේ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයක. හාල් ගෝනියට, බටු ගෝනියට, වට්ටක්කා ගෝනියට මාර්කට් භාෂාවෙන් කියන වචන තමයි මෙයා කීවේ.” මුරකරුට රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නැයි ප්‍රධානියාගෙන් අවවාද කෙරුණු අතර අවවාදාත්මක ලිපියේ පිටපතක් මුරකරුගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමට ද නියම කෙරිණි.
(මාතලේ අධිකරණ වාර්තාකරු සසිරි රණහංස)

