හෝටලයේ සේවය කළේ තරුණියන් දෙදෙනෙකි. එහි වෙළෙඳාම දිනෙන් දින ඉහළ යෑම මුදලාලිගේ සතුටට හේතු විය. මාසික ආදායම තමා හිතුවාටත් වඩා වැඩි වූ නිසා ඔහු කළේ මුදල් ගැනීම තරුණියන්ටම පවරා තවත් හෝටලයක් බදු ගැනීමය. තරුණියන් වැඩ කළ හෝටලයේ ආදායම මාස කිහිපයක් යනවිට සරු වුවත් පසුව පහත වැටීම මුදලාලිට ගැටලුවක් විය. කනින් කොනින් යම් යම් දේ ආරංචි වුවද ඔහු ඒවා විශ්වාස නොකළේය.
දිනක් සවස හෙතෙම හෝටලය වැසීමට පැමිණෙන විට එහි ඉදිරිපිට තරුණයන් දෙදෙනකු රණ්ඩුවෙන අයුරු දැකගත හැකි විය.
හෝටලයේ තරුණියෝ දෙන්නා දෙපසට කරමින් සිටියහ. මුදලාලි දුටු තරුණියෝ අතුරුදන් වූහ. තරුණියගෙන් හේතුව විමසීමේදී ඔවුන් දෙදෙනා මිතුරන් බවත් කුමන හෝ හේතුවකට රණ්ඩු කළ බවත් ඇය පැවසුවාය.
හෝටලය වැසූ පසු තරුණියන් දෙදෙනා පිටව ගිය අතර මුදලාලි කැලේ අසල වෙළෙඳසැල් වලින් මේ ගැන විමසීය. එක් තරුණියකට පෙම්වතුන් දෙදෙනෙකු සිටින අතර ගුටි ඇන ගත්තේ ඔවුන් බව අයෙක් පැවසීය.
අනෙක් තරුණියද පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන බවත් ඔවුන් සැවොම රිසිසේ හෝටලයෙන් ආහාර අනුභව කළත් සේවිකාවන් ඔවුන්ගෙන් මුදල් අය නොකරන බව තවකෙක් පැවසීය.
මුදලාලි පසු දිනම පඩි නඩි ගෙවා සේවිකාවන් ඉවත් කර කඩේ ඉදිරිපස දැන්වීමක් ඇළ වූයේය.
‘‘හෝටලයේ වැඩට අවුරුදු හතළිහට වැඩි සේවිකාවන් අවශ්‍ය වී ඇත. සිත් ගන්නා වැටුප්’’
ගම්පහ උප නගරයක සිදුවීමකි.
ක්‍රිස්ටෝපර් සීපියන්