සිදුකළ වරදක් වෙනුවෙන් තම ත්‍රිරෝද රථයෙන් අධිකරණයට ගිය පුද්ගලයකු අධිකරණ කටයුතු නිම කොට අධිකරණ භූමියෙන් එළියට පැමිණ තම ත්‍රිරෝද රථය නොමැති බව දැකීමෙන් සොයා බැලීමේ දී ලීසිං සමාගමකින් ත්‍රිරෝද රථය ගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් කරුමය දැන් හොඳටෝම පලදෙනවායි තම හිතවතුන්ට කියා ඇත.
අළුත්ගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවකු සිදුකරන ලද නීති විරෝධී මත් ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර අධිකරණයට ඉදිරිපත් වීමට දිනයක් නියම කර තිබිණි.
ඒ අනුව එම පුද්ගලයා මෙයට දින කිහිපයකට පෙර අදාළ වරද වෙනුවෙන් පෙනී සිටීමට කළුතර අධිකරණයට ගොස් තිබේ.
එම පුද්ගලයා සතු ත්‍රීරෝද රථයෙන් අලුත්ගම සිට කළුතර දක්වා ගොස් නගරයේ ස්ථානයක ත්‍රිරෝද රථය ගාල් කර අධිකරණයට ගොස් තිබේ.
අධිකරණ කටයුත්ත නිමා වී පැය කීපයකින් තමන් පැමිණි ත්‍රීරෝද රථය ගාල් කළ ස්ථානයටගොස් සොයා බලද්දී ඔහුගේ ත්‍රිරෝද රථය එම ස්ථානයේ නොතිබුණෙන් වටපිට විපරම් කර තිබේ.
පසුව තවදුරටත් කළ සොයා බැලීමේ දී දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහුගේ ත්‍රිරෝද රථය ලීසින් වාරික ගණනාවක් නොගෙවීම හේතුවෙන් අදාළ ලීසිං සමාගමෙන් රැගෙන ගොස් ඇති බවයි. පසුව ඔහු කළුතර නගරයෙන් අලුත්ගම දක්වා ධාවනය වන බස් රථයකට ගොඩ වී නිවසට පැමිණ දැන් කරුමය හොඳටම පල දෙනවා යැයි හිතවතෙකුට පවසා තිබේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා