කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉකුත් දා නිකුත් කර තිබුණු ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණත් පාසලේ විදුහල්පතිවරයාගේ නම නොදැන සිටි අපූරු ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ලෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඉකුත්දා නිකුත් කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සබරගමුව ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ඉගෙනුම ලැබූ විෂයයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.
මාධ්‍යවේදීන් කිහිප දෙනකු ඔහු පදිංචිව සිටින නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ ඈතින් පිහිටි නිවෙසට පෙරවරුවේ හනික ගියේ මෙම ශිෂ්‍යයාගේ තොරතුරු රටටම ලබාදීමටය.
නිවෙසට ගිය අවස්ථාවේදී ශිෂ්‍යයාගේ මව්පියන් මාධ්‍යවේදීන් පිළිගත් අතර පුතා එනකම් අසුන් ගන්නැයි මිදුලේ සිටි මාධ්‍යවේදීන්ට පියා පැවසීය.
මිනිත්තු කිහිපයකට පසුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටි ශිෂ්‍යයා සාලයට පැමිණියේය.
මාධ්‍යවේදීන් ඔහුගෙන් තොරතුරු විමසන්නට සූදානම් වෙද්දී පියා පසෙක සිට කියා සිටියේ තමන්ට දරුවන් තිදෙනකුම සිටින බවත් තමා ඉගෙන ගත් පාසලටම දරුවන් තිදෙනාම ඇතුළත් කළ බවත්ය.
වැඩිමහල් පිරිමි දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිම කර දැනට සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන බවත් දෙවැනි පිරිමි දරුවා ඉකුත් දා නිකුත් කර තිබුණු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් දිස්ත්‍රික්කයේ කප් එක රැගෙන ඇති බවත්ය. බාල පුතා ද එම පාසලේම ඉගෙනුම ලබමින් සිටින බවත් පියා පැවසුවේ සිනාමුසු මුහුණිනි.
පසුව මාධ්‍යවේදීහු ප්‍රථම ස්ථානය හිමි කර ගත් ශිෂ්‍යයාගෙන් ජයග්‍රහණය සම්බන්ධයෙන් තොරතුරු විමසූහ. එහිදී ඔහු කියා සිටියේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ තමන් පාසල් ගිය බවත් ලොකු බලාපොරොත්තුවක් නොතිබුණු බවත්ය. ඒ තුනක් අරගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට පමණක් බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු පැවසීය.
අනාගතයේ වැඩිමහල් සහෝදරයා මෙන්ම ඉංජිනේරුවරයකු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ශිෂ්‍යයාගෙන් එක් මාධ්‍යවේදියෙක් ‘පුතා පාසලේ විදුහල්පතිවරයාගේ නම මොකක්දැ’ යි විමසීය.
එහිදී ශිෂ්‍යයා දකුණු අතේ ඇඟිල්ලක් කටේ තියාගෙන බිම බලාගෙන ඇඟිල්ල සපමින් මිනිත්තු කිහිපයක් කල්පනා කර විදුහල්පතිවරයාගේ නම නොදන්නා බව පැවසීය.
පසුව අනෙක් මාධ්‍යවේදීන් ශිෂ්‍යයාට විදුහල්පතිවරයාගේ නම කියා දුන්නද එවැනි නමක් අසා නොමැති බව ද ශිෂ්‍යයා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ මුහුණ බිමට හරවා ගෙනය.