දකුණු පළාතේ එක්‍තරා නගරයක පිහිටි සිල්ලර වෙළෙඳසලකින් බඩු ලබාගත් අයට මාරු කාසි වෙනුවට ටොපි ලබාදීම නිසා පාරිභෝගිකයකු එම වෙළෙඳසලෙන් බඩු ලබාගෙන මුදල් වෙනුවට ටොපි ලබාදුන් පුවතක් පිළිබඳව වාර්තාවේ.
නගරයේ පිහිටි මෙම වෙළෙඳසලට බඩු ලබාගැනීමට දිනපතා සෑහෙන පාරිභෝගික පිරිසක් පැමිණෙති. මුදල් ගනුදෙනු සඳහා කැෂියර්වරියන් ලෙස යොදවා ඇත්තේ තරුණියන්ය.
මෙම වෙළෙඳසලෙන් බඩු ලබාගන්නා අයට කිසිවිටකත් ඉතිරි මුදල් ආපසු දීමේ දී මාරූ කාසි නොලැබේ. ඒ වෙනුවට මෙම කැෂියර්වරියෝ පාරිභෝගිකයන්ට ටොපි කිහිපයක් ලබා දෙති. රුපියල් දහයට වඩා අඩු ඉතිරි මුදල් සඳහා ලැබෙන්නේ ටොපි කිහිපයකි.
මේ සඳහා මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා ගත් පාරිභෝගිකයකු කළේ සෑමදාම ලැබෙන ටොපි හා බිල්පත් එකතුකර තැබීමය. මාස කිහිපයක දී ඔහු ළඟ ඉතිරි මුදල් වෙනුවට ලැබී එකතු කළ ටොපිවල වටිනාකම රුපියල් දහසක් විය.
ඔහු එදින එම ටොපි හා බිල් ද රැගෙන එම වෙළෙඳසලට ගොස් බඩු ගත්තේය. ඔහු එදින ලබාගත් බඩුවල වටිනාකම රුපියල් 2600/=කි. ඔහු මුදල් රුපියල් 1600/= ක් සමග රුපියල් දහසක් වටිනා ටොපි තොගය කැෂියර්වරියට දුන්නේය.
“කෝ සල්ලි තියෙන්නෙ රුපියල් 1600/=නෙ. තව දාහක් අඩුයිනෙ” කැෂියර්වරිය පැවසුවාය.
“ඇයි මේ ඉතිරි සල්ලි වෙනුවට මට ඔයාල දුන්න රුපියල් දාහක ටොපි මෙතන තියෙන්නෙ.” පාරිභෝගිකයා පැවසීය.
කතාව දුරදිග ගොස් සිල්ලර වෙළඳසැලේ කළමනාකාරවරයා ද පැමිණ මේ ගැන කතා කළේය.
“ඇයි මහත්තය මෙන්න මගේ කලින් ගත්ත බිල්. ඒවයේ ඉතිරි මුදල් වෙනුවට මට දීපු ටොපි තමයි මෙතන තියෙන්නෙ. අපිට ඉතිරි මුදලේ වටිනාකමට ටොපි දුන්නනම් ඇයි ඔයාලට ඒ වටිනාකමට ටොපි ආපසු ගන්න බැරි” පාරිභෝගිකයා මහ හඬින් කී කතාවට එහි සිටි අනෙක් පාරිභෝගිකයෝත් අවධානය යොමු කළහ.
මේ නිසා කිසිවක් කරකියා ගත නොහැකිවූ කළමනාකරු එම ටොපි ටික හා මුදල් භාරගෙන ඔහුට එම බඩු ටික ලබා දෙන්නැයි කැෂියර්වරියට උපදෙස් දුන්නේය.
ඉන්පසු එම වෙළෙඳසලෙන් පාරිභෝගිකයන් කිසිවකුටත් ඉතිරි මුදල් දීමේ දී මාරු කාසි වෙනුවට ටොපි ලබා දෙන්නේ නැත.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර