කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
උතුරු මැද පළාතේ එක්තරා අධ්‍යාපන කලාපයකට අයත් අධ්‍යාපන කොට්ඨාසයක දුෂ්කර ගමක ප්‍රාථමික පාසලක ඉංග්‍රීසි පාඩමක දී සිදුවුණු අපූරු සිද්ධියකි.
මෙම පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුතුමිය ඉතා සැර පරුෂ තැනැත්තියකි. ඇය තම ඉංග්‍රීසි විෂය පන්ති කාමරය තුළ සිසුන්ට ඉගැන්වීමට මැලිකමක් දැක් වූවාය. එබැවින් ඇය සෑම දිනකම පාසලේ මිදුලේ ඇති කොහොඹ ගස් සෙවණේ සිසුන් වට රවුමකට ඉන්දවා ඇය එම රවුම මැද ඉඳගෙන පාඩම ඉගැන්වීමට ප්‍රිය කළාය.
5 වසරේ සිසු දරුවන් අතර සිටි එක් සිසුවෙකු, ඉංග්‍රීසි විෂයයට බෙහෙවින්ම දුර්වල දරුවෙක් විය. ඔහුට ඉංග්‍රීසි ගුරුතුමිය ”ඇස් දෙකට පේන්න බැරි” චරිතයක් විය. ඒ ඇය නිතර ප්‍රශ්න විමසුවේත්, දඬුවම් දුන්නෙත් ඔහුටම වීමත්, ඇය ඔහුට ”බකමූණා” යන අන්වර්ථ නාමයකින් ඇමතීමත් නිසාය.
එදින ඉංග්‍රීසි පාඩමට සිසුහු තම තමන්ගේ පුටු හිස මත තබා ගෙන ගොස්, කොහොඹ ගස් සෙවණේ වටා රවුමක් සාදා ඉද ගත්හ.
ඔහු අසලම සිටියේ ප්‍රේමතිලක නැමැති සිසු දරුවකු වූ අතර, ඔහු නිතර අනුන්ට ”ලණු” දෙන්නෙකි.
ඉංග්‍රීසි ගුරුතුමිය පැමිණ හරි බරි ගැහී පාඩම පටන් ගත්තාය. ඉංග්‍රිසි ගුරුතුමිය හඳුන්වන අපගේ බකමූණා ඇය දෙස බලා සිටියේ යක්ෂණියක දෙස බලා සිටින තරමටම බියකිනි. එයට හේතුව ඔහු ඊට පෙර දින පාසලට නොපැමිණීමය.
ගුරුතුමිය කටහඬ අවදි කළාය. ”හොඳයි මම ඊයෙ ඔයාලට කියල දීපු වචන ටික අපි අද මතක ද කියලා බලමු. කුඩයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද..?”
පන්තියේ සියලුම සිසුන් පුටු මතින් නැගිට, කකුල්වල ඇඟිලි කොටසින් උඩට ඉස්සි, අත් උඩට ඔසවාගෙන සිටියේ මම දන්නවා මම දන්නවා කියන්නාක් මෙනි.
අප කතානායක බකමූණා අන්දුන් කුන්දුන්ව ඇඹරෙන හැටි, අල්ලපු පුටුවේ සිටි ප්‍රේමතිලක සිසුවා දැක්කේය.
”ඇයි උඹ ඒක දන්නෙ නැද්ද...? මම කියලා දෙන්නම්. බය නැතුව අත උස්සනවා...” යැයි රහසින් පැවැසීය.
බකමූණා ඉතා සතුටින් අත ඉහළට ඔසවා ගුරුතුමිය දෙස පපුව ඉස්සරහට දාගෙන අභිමානයෙන් යුතුව බලා සිටියේය. ගුරුතුමිය රවුම වටා වටයක් කැරකී, ” හොඳයි බකමූණ කියනවා බලන්න” යැයි කීවාය. කිසිවකුටත් නොඇසෙන නොදැනෙන ලෙස තම අසල්වැසි මිතුරා කුඩයට ඉංග්‍රීසියෙන් කියන නම බකමූණාට රහසින් කීවේය. මුළු පන්තියම දෙදරන හඬින් ආඩම්බරයෙන් යුතුව, බකමූණා ”ටීචර්... කුඩයට කියන්නේ ”ගොංබෙල්ලා කියලා”. යැයි කියනවාත් සමගම, මුළු පන්තියම එකම සිනා සාගරයක් බවට පත්විය.
කේන්තියෙන් පුපුරු ගසමින් සිටි ගුරුතුමිය වේවැල අතට අරගෙන හැරෙන්නටත් පෙර බකමූණා ”කුරුලු වෙස්” ගෙන පන්තියෙන් ඉගිලී ගොස් තිබුණි.
පාසලෙන් පැනගිය වරදට බකමූණා පසුවදා විදුහල්පතිතුමිය හමුවීමට තම මවගේ අතේ එල්ලී, පාසල් වත්තට ඇතුළු වූයේ ගොළු බෙල්ලකුගේ ගමනටත් වඩා හෙමින් පස්සට ඇදෙමින් ය.