ඇදුම්වලින් මාටියා ගහලා කටඋත්තර නැතිවෙලා


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


බටහිර තූර්ය වාදන කණ්ඩායම් භාර ගුරුවරියක් හොර බිල් දැමීමේ සොරකමක් අපූරු උපක්‍රමයකින් සොයා ගත් විදුහල්පතිවරයෙකු පිළිබඳ පුවතක් කරන්දෙණියේ පාසලකින් අසන්නට ලැබේ.
කෘතහස්ත විදුහල්පතිවරයෙකි. සිය විදුහලේ ඉන්නා ගුරුවරුන් පිළිබඳව මනා දැනුමක් ඇත්තෙකි. විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම භාර ආචාරිනිගේ සැකසහිත වැඩ මේ විදුහල්පතිවරයාට ඇල්ලු‍වේම නැත. ඇය හැම වෙලාවේම කල්පනා කළේ සිය වෘත්තියෙන් මාටියා පාරක් ගසා කීයක් හරි යටිමඩි ගසා ගන්නය. විදුහල්පතිවරයාද මේ බව දැන සිටියේය.
සිය විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සිටින ළමයින් සඳහා නිල ඇදුම් මැසීමේ කාර්ය භාරය ඇය කිසිදු පැකිලීමකින් තොරවම භාර ගත්තාය. මේ ගුරුවරිය ටිකක් දුර ප්‍රදේශයෙන් මේ ඇඳුම් මසන්නකු මේ සඳහා සොයා ගත්තාය. ඇඳුම් ටික මැසිණ. තූර්ය වාදක ළමයි සඳහා මැසූ ඇඳුම්වල ගාස්තුව ඇතුළත් බිල්පත විදුහල්පතිවරයාට ලැබුණේය. ඒ එම ගාස්තුව ගෙවීම සඳහාය. බිලෙහි සඳහන් ඇඳුම් තොගයේ ඇඳුම් පාසලට නොලැබුණු බව විදුහල්පති සිය නුවණට දා ගත්තේය. බිලෙහි වූ මුදල ගෙවීම ඔහු මදකට නතර කර ගත්තේය.


බිල්පතේ සඳහන් ඇඳුම් මසන්නා සොයා විදුහල්පතිවරයා හෙමිහිට කාටවත්ම නොකියා ගියේය. ඒ වෙන විදුහලක විදුහල්පතිවරයකු ලෙසය ආරූඪ කරගත් විදුහලේ විදුහල්පතිවරයා තමා බවත් සිය විදුහලේ තූර්ය වාදක කණ්ඩායම සඳහා ඇඳුම් මැසීමේ කොන්ත්‍රාත්තුවක් දීමට තමා පැමිණි බවත් ඔහු ඇඳුම් මසන්නාට කීවේය.
ඒ විතරක්ම නොව මේ ළඟදී සිය විදුහල ආසන්නයේ විදුහලකට තූර්ය වාදක කණ්ඩායමට ඇඳුම් විස්සක් මැසුවේ තමා බවද විදුහල්පතිවරයා ඔහුගෙන් අසා සිටියේය. ඒ ආරංචිය නිසා සිය විදුහලේ ඇඳුම් මැසීමට ඔහුට දීමට තමා ආ බවද විදුහල්පතිවරයා තවදුරටත් කීවේය. ඒ විදුහලට ඇඳුම් විස්සක් නම් මැහුවේ නැහැ. දාහතයි මැහුවේ යැයි ඇඳුම් මසන්නා කීවේය. හා එහෙමද ඒ විදුහලට දුන්නු ගාණටම අපිටත් ඇඳුම් මහලා දෙන්නකෝ යයි කී විදුහල්පතිවරයා එතනින් පිටවී පැමිණියේ දෙදෙනාගේ දෙබස් සිය ජංගම දුරකතනයේ පටිගත කරගෙනය.
බටහිර තූර්ය වාදක කණ්ඩායම භාර ගුරුවරියට විදුහල්පති කාමරයට කැඳවීමක් ලැබුණේ පහුවදා උදේමය. මිස් බටහිර තූර්ය වාදක කණ්ඩායමට අලු‍තින් ඇඳුම් කීයක් මැහුවා ද ප්‍රශ්නය විදුහල්පතිගෙන්ය. ආ සර් අලු‍තින් ඇඳුම් තිස් පහක් මැහැව්වා නේ, ඇයි බිලේ ඇතිනේ පිළිතුර ගුරුවරියගෙනි.
හැබැයි මිස් මේ ඇඳුම් මහපු කෙනානම් කිව්වේ ඇඳුම් දාහතයි මැහැව්වේ කියලා, බලන්න බොරුනම් මේ ඔහු කීදේ යයි කියා විදුහල්පතිවරයා තමාගේ ජංගම දුරකතනයේ එදා පටිගත කළ සංවාදය දැම්මේය. ගුරුවරියට කට උත්තර නැතිවිය. ඇය මේ සිදුවීමෙන් පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලකට මාරුවී ගියාලු‍.