ඇතා පිට කරඬුව තියන්න පෙරහර පිටින්ම පොලිසි ගිහින්


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පෙරහරේ සධාතුක කරඬුව නැකතට හස්තියාගේ පිට උඩ තැබීම සඳහා ආරාධනා කළ තැනැත්තා ඒ සඳහා කැඳවාගෙන ඒමට පෙරහරින් පොලීසියට යාමට සිදුවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
පෙරහරේ මංගල හස්තියාගේ පිට උඩ කරඬුව තැන්පත් කිරීමට සෑම වර්ෂයකම කෙනෙකුට ආරාධනා කරන්නේය. මෙවර ආරාධනා ලැබූවේ ඔහුය. හස්තියාගේ පිට උඩ කරඬුව තැන්පත් කෙරුණේ නැකතටය.
හස්තියාගේ පිට උඩ  සධාතුක කරඬුව තැබීමේ නැකත ළං ළං වෙමින් තිබිණ. එහෙත් ඒ සඳහා ආරාධනා ලැබූ ආරාධිතයා තවමත් පැමිණ නැත. පෙරහරේ සංවිධායකයෝ කලබල වූහ.  සධාතුක කරඬුව තැන්පත් කිරීමට ආරාධනා ලැබූ ආරාධිතයාගේ පැමිණීම පමාවීම ගැන සංවිධායකයෝ සොයා බැලූහ.


දැනගත් විදිහට ඔහු පොලීසියේය. ඔහුට ඒ සඳහා එන ලෙස සංවිධායකයෝ දුරකතන ඇමතුම් මගින් දැනුම් දුන්හ. පොලීසියෙන් එන්න නොදෙන බව සංවිධායකයන්ට දැන ගන්නට ලැබිණ. ඒ සමගම සධාතුක කරඬුව නැකතට හස්තියාගේ පිට මත තබා ගැනීමට ඔහු අනිවාර්යයෙන්ම අවශ්‍යය. ඒ නිසාම පෙරහරේ  සංවිධායකයෝ පෙරහරින් ඔහු රැගෙන ඒමට ගියහ. 
පොලිස් ස්ථානාධිපතිට සංවිධායකයින් පෙරහරේ අවශ්‍යතාව ගැන කීහ. ඔහුට ඇප ලබාදිය නොහැකි බව ස්ථානාධිපතිවරයා සංවිධායකයන්ට දැනුම් දුන්නේය. එවිට කට්ටියටම තරු පෙනෙන්නට වූහ. පොලිස් ස්ථානාධිපතිවරයාට ඔවුහු නොවඳිනා වැඳුම් වැන්දේ පෙරහරේ අවශ්‍යතාවය කියා පාමිනි.


අවශ්‍යතාව තේරුම්ගත් ස්ථානාධිපතිවරයා  බීමතින්, රියදුරු හා ආදායම් බලපත් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීමේ චෝදනාවට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන සිටි ඔහුට පොලිස් ඇප මත මුදා හැරියේ පෙරහරේ සධාතුක කරඬුව හස්තියාගේ පිට උඩ තබා  තමාට එරෙහිව ගොනු කොට ඇති චෝදනා තුන සඳහා අධිකරණයේ පනවන නඩුවට  පෙනී සිටීමට එන ලෙස දන්වමින් දින නියම කරමිනි.