ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා


ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා රුපියල් හැටක් අය කළේය.

කිසිම රසක් නොමැති එම ආහාර ආරක්ෂක නිලධාරියා අනුභව කළේ දෙස් දෙවොල් තබමිනි. ආරක්ෂක නිලධාරියා ආහාර ගත්තේ ආයතනයේ නිලධාරීන් ආහාර ගන්නා කාමරයේය. දිනක් ඔහු දිවා ආහාරය ගැනීමට ගිය විට හිතවත් තරුණ විධායක නිලධාරියෙක් ද තම කෑම පාර්සලය රැුගෙන පැමිණියේය. බත්පත දිගහල ආරක්ෂක නිලධාරියා, ‘අයියෝ අදත් තියෙන්නේ සැමනුයි පරිප්පුයි’ යැයි කීය. එවිට විධායක නිලධාරියා, ‘ඉතින් කොච්චර හොඳදැයි’ පැවසූ විට, ආරක්ෂක නිලධාරියා, ‘මෙලෝ රහක් නැහැ සර්.. හැමදාම එක්කෝ සෝයාමීට් නැත්නම් සැමන්’ යැයි පැවසීය. ‘මට දෙන්න එස්. ඕ.ගේ කෑම එක. මගේ කෑම එක ඔයා කන්නැයි’ නිලධාරියා පැවසීය. ආරක්ෂක නිලධාරියා පුදුමයෙන් බලා සිටිද්දී ඔහුගේ කෑම පාර්සලය නිලධාරියා අනුභව කරන්නට විය.

‘ෂා.. හරි රසයිනේ. මම ගෙදරින් ගේන කෑම හැමදාම කාලා එපා වෙලයි මට තිබුණේ. අපි හැමදාම කෑම මාරු කරගමු. හැබැයි එස්. ඕ. කාටවත් කියන්න එපා’ නිලධාරියා පැවසීය. දැන් දිවා ආහාරය කාටත් හොරා දෙදෙනා මාරුකර අනුභව කරන අතර නිලධාරි මහතාගේ දිවා ආහාරය කුකුළුමස්, මාළු, බිත්තරවලින් යුක්ත වුවත් ආරක්‍ෂක නිලධාරියාගේ දිවා ආහාරයේ ඇත්තේ සෝයාමීට් නැත්නම් කරවලය.