ආරක්ෂක නිලධාරියාගේ ඡන්ද ගැටේ


(අනුරාධපුරය - ක්‍රිස්ටෝපර් සීපයන්)

එම පුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය හතර දෙනකුගෙන් යුක්ත විය. ආරක්ෂාවට සිටියේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. දේශපාලනික වශයෙන් ආයතනයේ කාර්ය මණ්ඩලය එක් දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්වූ අතර ආරක්ෂක නිලධාරියාගේ සහාය හිමි වුණේ තවත් පක්ෂයකටය. ඔහුගේ ඡන්ද බලප්‍රදේශය අනුරාධපුර බව දන්නා කාර්ය මණ්ඩලය ඔහු ඡන්දය දැමීම වැලැක්වීම සඳහා උපායක් යෙදූහ.

ආයතනයේ ප්‍රධානියා ඔහුට කතාකොට, ‘එස්.ඕ. ඡන්දේ දාන්න අනුරාධපුරේ යන්නේ නැත්නම් අපි ඔයාට රුපියල් හාරදහක් දෙනවා මොකද කියන්නේ’ ඔහු ඇසීය. මොහොතක් කල්පනා කළ ආරක්ෂක නිලධාරියා ‘හරි මම ඡන්දෙ දාන්න යන්නැහැ’ යි කීය. ‘එහෙනම් ඡන්දෙ දවසේ උදේ නමයට ඔෆීස් එක අරිනකොට ඔයා ඉන්න ඕනේ. එතකොට අපි සල්ලි දෙනවා’ ඔවුහු පැවැසූහ. ‘උදේ හතට ඡන්දේ දැම්මත් අනුරාධපුරේ ඉඳන් එන්න පැය පහක්වත් යනවනේ’ අයෙක් කීය. ඡන්දය දා උදේ නමයට ආයතනය විවාත කරන විට ආරක්ෂක නිලධාරියා රාජකාරියේ යෙදී සිටිනු දක්නට ලැබුණි. ඔහුට රුපියල් හාරදහස ලැබුණි. ‘අයියෝ එස්.ඕ. සල්ලිවලට ඔයාගේ ප්‍රතිපත්ති පාවා දුන්නා නේද? ඔවුහු විහිළු කළහ. ආරක්ෂක නිලධාරියා තම හිතවත් මිතුරාට දුරකතනයෙන් කතා කළේ කාටත් හොරාය. ‘මචං උඹ දන්නවනේ මම රාගමට ඇවිල්ලා අවුරුදු ගානක් වෙනවා. දැන් මගේ ඡන්දේ තියෙන්නේ රාගම. ඒක මෙයාලා දන්නේ නැහැ. මම උදේ හයහමාරට පෝලින් බුත් එකට ගිහිල්ලා හත වෙද්දී ඡන්දෙ දාලා, බත්තරමුල්ලට උදේ අට හමාර වෙන්නත් කලින් ආවා’ යැයි ඔහු පැවැසීය.